Saturday, May 10, 2025
Home » නැඟෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනියගේ රියට යටවී අයෙක් මරුට

නැඟෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනියගේ රියට යටවී අයෙක් මරුට

by sachintha
February 19, 2024 1:30 am 0 comment

නඟෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනිය වන ආරියලතා ගලප්පත්ති මහත්මිය ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකට යටවීමෙන් පෙරේදා (17) පෙරවරුවේ දඹුල්ල, පැල්වෙහෙර ප්‍රදේශයේදී මගියෙකු මියගිය බව දඹුල්ල පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ නාවුල පෙනලබොඩ ප්‍රදේශයේ පදිංචි එම්.ජී.එච්.එම්. සමන් ප්‍රියන්ත හේරත් නමැති වයස අවුරුදු හතළිහක පුද්ගලයෙක් බවට හඳුනාගෙන තිබේ. නැඟෙනහිර පළාතේ හිටපු සභාපතිනි ගලප්පති මහත්මිය ත්‍රිකුණාමලයේ සිට කොළඹ ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට සහභාගි වීම සඳහා ගමන් කරමින් සිටියදී දඹුල්ල, පැල්වෙහෙර ප්‍රදේශයේ මාර්ගය අසල රැඳී සිටි මගියෙකු මේ ආකාරයෙන් අනතුරට පත්ව ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

සුඛෝපභෝගී මෝටර් රථය තමන්ගේ ධාවන පැත්තෙන් ඉවත්ව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වී ඇති බව දඹුල්ල පොලිසියේ රථවාහන අංශය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව රථවාහන පොලිසිය පවසයි. අනතුරින් මියගිය පුද්ගලයා පැල්වෙහෙර ප්‍රදේශයේ ඉදිකිරීම් කරන හෝටලයක සේවය කරන අයෙකු බවත් ඔහු රාත්‍රී වැඩමුරය අවසන් කොට නැවත නිවෙස බලා ගමන් කිරීමට මාර්ගයට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කළේය. අනතුර සිදුවීමත් සමඟින් තුවාල ලැබූ පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය. පසුව පළාත් සභාවේ හිටපු සභාපතිනිය වෙනත් වාහනයකින් කොළඹ ප්‍රදේශයට පිටත් කර යැවූ බවත් රියැදුරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළේය. මෙම අනතුරත් සමඟ මෝටර් රථයේ ඉදිරිපසට දැඩි හානි සිදුවී තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය. එමෙන්ම එම මෝටර් රථය දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අවස්ථාවේ යම් පුද්ගලයකු පැමිණ එම මෝටර් රථයේ ලියාපදිංචි අංක ඉවත් කරන අයුරු දැක ගැනීමට හැකි විය . පොලිස් නිලධාරියකු ලියාපදිංචි අංක තහඩු රැගෙන යෑම සිදු නොකරන ලෙස ඔහුට උපදෙස් ලබා දීම විශේෂත්වයක් විය.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT