Thursday, May 15, 2025
Home » මුතුගල පාරම්පරික ගොවීන්ට පොලොන්නරුව වනජීවීයෙන් කුඹුරු වගා තහනමක් ගොවි පවුල් 200ක් පීඩාවට

මුතුගල පාරම්පරික ගොවීන්ට පොලොන්නරුව වනජීවීයෙන් කුඹුරු වගා තහනමක් ගොවි පවුල් 200ක් පීඩාවට

by sachintha
February 19, 2024 2:31 am 0 comment

පොලොන්නරුව මහවැලි බී කලාපයේ වැලිකන්ද මුතුගල ප්‍රදේශයේ පාරම්පරික ගොවීන්ට සිය කුඹුරු ඉඩම් වගා කිරීමට වසර පහක පමණ කාලයක සිට පොලොන්නරුව වනජීවී කාර්යාලය මඟින් අවස්ථාව ලබා නොදීම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව එම ගොවීහු පවසති. එම නිසා ගම්මානයේ පවුල් 200ක පුද්ගලයන් දාහකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිිටිති.

වනජීවී දෙපාර්තමේන්තුව සතුව පැවති එම ඉඩම් 1984 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් එවකට පැවති රජය විසින් පවරා දීමෙන් අනතුරුව කුඹුරු ඉඩම් කට්ටි කර ඔප්පු සහිතව එම කුඹුරු ඉඩම් තම ගම්මානයේ පවුල් 200කට වැඩි පිරිසකට ලබා දුන් බව මුතුගල ඩී 2 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති එස්. තේවරාසා මහතා සඳහන් කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කරන ලද ඔප්පු කුඹුරු ඉඩම් කීපයක් තම ගම්මානයේ ගොවීන්ට ලබා දුන්න ද ඒවා පවා වනජීවී නිලධාරීන් තහනම් කරමින් තමන්ට කුඹුරු වගා කිරීමට ඉඩ නොදෙන බවත් මෙම තත්ත්වය මත විශාල ජල කඳක් මහවැලි ගඟට නිරපරාදේ ගලා යන බව ද තේවරාසා මහතා පැවසීය.

වනජීවී දෙපාර්තමේන්තුව මෙම කුඹුරු ඉඩම් අත්පත් කර ගැනීමට පෙර තමන්ගේ සීයලා මෙම කුඹුරු ඉඩම් පාරම්පරිකව සිදු කරමින් ඔවුන්ගේ දරුවන්ට උරුම වී ඇති බවත් එම ඉඩම් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බව පවසමින් පොලොන්නරුව වනජීවී නිලධාරීන් තමන් එම කුඹුරු වගා කිරීමට යෑමේ දී විවිධ අඩන්තේට්ටම්වලට මුහුණ දීමට සිදු වන බව ද මුතුගල ගොවීහු සඳහන් කරති. මීට යාබද වනජීවී දෙපාර්තමේන්තුවට අයත් යැයි කියන ඉඩම් ප්‍රමාණයක වෙනත් පිරිසක් කුඹුරු ඉඩම් කිසිදු බාධාවකින් තොරව වගා කරන බවත් මුතුගල ගම්මානයේ කුඹුරු ඉඩම් මැදින් එම කුඹුරු සඳහා ජලය ලබා ගන්නා වැවෙන් තම මුතුගල ගම්මානයේ පවුල් බලවත් අසාධාරණයට පත්ව ඇති බවත් ඒ සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ද මුතුගල ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

පාරම්පරිකව වගා කර ගෙන ආ මෙම කුඹුරු ඉඩම් තුළින් විශාල වී අස්වැන්නක් වාර්ෂිකව ලබා ගත් බවත් එම වී අස්වැන්න රජයට වසර පහක් තිස්සේ අහිමි වී ඇති බවත්, මෙම කුඹුරු වගා කරන්නේ නම් වැඩි පොහොර යෙදීමට අවශ්‍ය නොමැති බවත්, කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව මහවැලි ගඟට ගලා යන ජල කඳ තුළින් තම කුඹුරු වගා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ද මුතුගල ගොවීහු අදාළ බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ගොවීන් නඟන මෙම චෝදනාව සම්බන්ධයෙන් පොලොන්නරුව වනජීවී කාර්යාලයෙන් දුරකතනයෙන් කළ විමසීමක දී එහි නිලධාරියකු සඳහන් කළේ එම ගොවීන් වගා කරන ඉඩම් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බවත් එම කුඹුරු ඉඩම් ඔවුන්ට වගා කිරීමට ලබා දීමේ හැකියාව මායිම් අනුව පවතී ද යන්න සොයා බලමින් පවතින බවයි.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT