Sunday, May 18, 2025
Home » මනම්පිටිය සිංහල මහ විදුහලේ ප්‍රධාන ශාලාව කඩා වැටෙන්න ඔන්න මෙන්න

මනම්පිටිය සිංහල මහ විදුහලේ ප්‍රධාන ශාලාව කඩා වැටෙන්න ඔන්න මෙන්න

by sachintha
February 19, 2024 1:38 am 0 comment

පාසල් සිසුන් අනාරක්ෂිත තත්ත්වයට පත් කරමින් දැඩි අවදානමක පවතින කඩා වැටෙන්නට ආසන්නව ඇති මනම්පිටි සිංහල මහා විද්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාව ඉතා කඩිනමින් පිළිසකර කර දෙන ලෙස විද්‍යාලයේ ආදි සිසුන්, දෙමාපියන් මෙන්ම දූ දරුවෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 1 වසරේ සිට 13 වසර දක්වා සිසුන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගේ කලා, නර්තන හැකියාවන් මෙන්ම විශේෂ රැස්වීම් සිදු කර ගැනීමට දැනට විධිමත් ප්‍රධාන ශාලාවක් නොමැති බවත් සිසුන් සහ ගුරුවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවත් මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති උපුල් අලහකෝන් මහතා සඳහන් කළේය.

මෙම ප්‍රධාන ශාලාවේ උළු සහ වහලය කඩා වැටෙන්නට ආසන්නව පවතින අතර දරුවන්ගේ ජීවිත පවා දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් මෙම ශාලාවේ වහලය, බිත්ති කඩා වැටී දරුවකුට කිසියම් ජීවිත අනතුරක් සිදු වීමට පෙර මෙම ප්‍රධාන ශාලාව කඩිනමින් පිළිසකර කර දෙන ලෙස තමා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද අලහකෝන් මහතා පැවසීය. මෙම ප්‍රධාන ශාලාව අලුත්වැඩියා කිරීම සඳහා පසුගිය වසරේ වෙන්ව තිබූ රුපියල් ලක්ෂ හතලිහක මුදල පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කප්පාදු කර ඇති බවත් වරින්වර හෝ මුදල් ප්‍රතිපාදන වෙන් කර මෙම ගොඩනැඟිල්ල පිරිසකර කරගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයාගෙත්, පළාත් ආණ්ඩුකාරවරයාගෙත් ඇතුළු සියලු අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ද විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ මවුපියන් මෙන්ම ආදි ශිෂ්‍ය සංගමය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ පිළිබඳව දිඹුලාගල අධ්‍යාපන කලාපීය කාර්යාලයෙන් දුරකතනයෙන් කළ විමසීමක දී එහි නිලධාරියකු සඳහන් කර ඇත්තේ අවදානම් තත්ත්වය පිළිබඳ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඇති බවයි. මේ සම්බන්ධව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දුරකතනයෙන් කළ විමසීමේ දී එහි නිලධාරියකු පැවසුවේ මෙම වසර ඇතුළත මුදල් ප්‍රතිපාදන වෙන් කර එම ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT