මී හරක් ටික ගැට ගහලා තිබුණේ නෑ. මම දැන ගත්තා රූපසිංහ ඉහළ වෙල්ගම පැත්තට ඇවිත් නෑ කියලා. එයාට කරදරයක් වෙලා කියල මට හිතුණා ගඟේදී. ගඟේ කිඹුලන් ඉන්නවා කියලා ගමේ අය කියනවා යැයි කුඩා ගඟේ ගිලී මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේ දී හේවගේ දොන් චන්දන කුමාර (42) යන අය සාක්ෂි දෙමින් පැවසුවේය.
මෙසේ මියගොස් ඇත්තේ වෙඩික්කාරගේ රූපසිංහ (61) නමැති අවිවාහක පුද්ගලයෙකි. ඔහු බදුරලිය, මිදලන, 42/බී ලිපිනයේ පදිංචිකරුවෙකි.
හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවති මරණ පරීක්ෂණයේ දී බුලත්සිංහල පොලිසියේ පොලිස් සැරයන් (62904) ගුණරත්න නිලධාරියාගේ සාක්ෂි විමසීම මත තවදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේද පැවසුවේය. මම බුලත්සිංහල, මියගිය වෙඩික්කාරගේ රූපසිංහ දැනට අවුරුදු 4ක පමණ සිට මී හරක් 25ක් ඉන්න ගාලක් බලා ගන්නවා. පිටස්තර පුද්ගලයන් සමඟ ආරවුල් ඇති වී තිබුණේ නෑ. ගමේ හැම අයටම උදව් කර ගෙන ඉන්නවා. 14 වන දින මම ගෙදර හිටියේ නෑ. උදේ 7.00ට විතර මම ගෙදරින් ගියා. එවිට රූපසිංහ ඇඳේ නිදා ගෙන හිටියා. මම 10.15ට විතර ගෙදර ආවා. මී හරක් ටිකට ගඟ පහළ කැවීම සඳහා රූපසිංහ ගොස් තිබුණා. මමත් මී හරක් ගිය දිසාවට ආවා. මම ඉහළ වෙල්ගමට ගඟෙන් පීනලා ගියා. හරක් ඉන්නවා රූපසිංහ හිටියේ නෑ. මේ දවස්වල ඉහළ වෙල්ගම යායට තමයි මී හරක්ව දක්කන්නේ තණ කොළ කැවීමට. හරක් කෙවිට මෙගොඩ ගොඩ දාලා ඉහළ වෙල්ගමට පීනනවා. ඔරුව තියෙනවා නම් ඔරුවෙන් යනවා. එදා ඔරුව තිබුණේ නෑ. රූපසිංහ මී හරක් එගොඩ ගැට ගැහීමට පීනලා ඇති කියලා මම එගොඩ ගොඩට ගියාට රූපසිංහ හිටියේ නෑ. මී හරක් ටික ගැට ගහලා තිබුණේ නෑ. මම දැන ගත්තා රූපසිංහ ඉහළ වෙල්ගම පැත්තට ඇවිත් නෑ කියලා. එයාට කරදරයක් වෙලා කියල මට හිතුණා ගඟේදී. ගඟේ කිඹුලන් ඉන්නවා කියලා ගමේ අය කියනවා. මම දැකලා නෑ. රූපසිංහව කිඹුලාට අහුවෙන්නට ඇති කියලා මට සැක හිතුණා. නාන්න ගඟට ගියා කියලා. මම කඹ ටික ගෙනවිත් හරක් ගැට ගැසීම කළා. හැමතැනම රූපසිංහ මාමාව හෙවුවා. කිසිම අයෙක් එගොඩ ගොඩ හිටියේ නෑ. නැවත ගඟ ළඟට ආවා. ගෙදර අයට කතා කරලා ඇහුවා මාමා ආවාද කියලා. ගෙදර කෙනා කිවුවා ගඟ පැත්තට ආවා කියලා. මට සැක හිතුණා රූපසිංහට ගඟේ දී අනතුරක් වුණා කියලා. ගඟ දිගේ ඔරුවලින් ගිහින් බැලුවා. තොරතුරක් හොයා ගැනීමට නොහැකි වුණා. හවස බුලත්සිංහල පොලිසියට ඇවිත් පැමිණිලි කළා. පොලිසියෙන් පැමිණුනා. වුණු සිද්ධිය මම කිවුවා. පසුදින රූපසිංහ සෙවීමට තීරණය කළා. පොලිසියෙන් කිවුවා ගඟට බහින්න එපා කියලා.
15 වෙනිදා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පැමිණ කිමිදිලා බැලුවා. සොයා ගැනීමට නොහැකි වුණා. අද උදේ 6.00ට විතර අඟල් 03ක් පහළට යැව්වා රූපසිංහව සොයන්න. 6.30ට විතර රූපසිංහගේ මෘත ශරීරය හමු වුණා කියලා දුරකතන ඇමතුමක් ආවා. මම ගියා රූපසිංහ සිටි තැන ගඟට. ඔහුව අඳුර ගත්තා. දියෙන් උඩ ඇවිත් මුණින් අතට හිටියේ. 14 වන දින 3.00ට විතර රූපසිංහගේ සරම හමු වුණා. ගඟේ ගහගෙන ගිහිල්ලා අතු කෑල්ලක රැඳිලා තිබුණා. අමුඩ ලේන්සුව තිබුණෙ නෑ. රූපසිංහ ලේන්සුව කරේ දාගෙනයි ඉන්නේ. දිය ලණුව ඉණේ තිබුණා. රූපසිංහ ගඟට බැහැලා පීනන්න ගිහින් තියෙනවා. එයාට පීනගන්න බැරි වෙලා දියේ ගිලිලා කියලා මම හිතනවා.
මෙහිදී සාක්ෂි දුන් මියගිය අයගේ බාල සහෝදරයකු වන මිල්ලනියේ පදිංචි වෙඩික්කාරගේ චන්‍ද්‍රසේන යන අය පැවසුවේ මෙම මරණය ගැන සැකයක් නොමැති බවයි. හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පි. ඩබ්. සී. එම්. සඳකැන් වඩුගේ මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා අනුව මෙම මරණය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවට බුලත්සිංහල හදිසි මරණ පරීක්ෂක චමින්ද වල්පිට මහතා නිගමනය කළේය.
හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ