තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ මහ විදුහලක ඉගෙනුම ලබන අවුරුදු 13ක බාල වයස්කාර පාසල් දරුවකුට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 53 හැවිරිදි ගුරුවරයා දැඩි ඇප කොන්දේසි මත හා රුපියල් ලක්ෂ 10ක පිළිගත් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරාංගනි ජයවර්ධන මහත්මිය ඊයේ (19) නියම කළාය.
මෙම සැකකාර ගුරුවරයා කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරිනියක විසින් අංක 268/24 බී වර්තාව මඟින් තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කර කරුණු දක්වනු ලැබිණ. මෙම සිද්ධිය හෙළා දකිමින් පාසල අවට පිහිටි ගම්මානවල 40කට අධික පිරිසක් තෙල්දෙණිය කලාප කාර්යාලයට පැමිණ කලාප අධ්‍යක්ෂ තෙන්නකෝන් මහතාට සංදේශයක් භාර දුන්නේය.
මවුපියන් මෙහිදී කියා සිටියේ මෙවැනි සිද්ධි පාසල්වල සිදු නොවීමට බලධාරීන් පියවර ගත යුතු බවයි. මොහුට විරුද්ධව මීට පෙර පාසල් දෙකකදී මෙවැනි සිද්ධි සිදුව තිබුණත් බලධාරීන් ඒවා යට ගසන බවටද ඔවුහු චෝදනා කළහ.
මෙම සැකකරුට පිළිගත් ඇපකරුවන් දෙදෙනකුගේ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් හා සෑම මසකම අවසන් ඉරු දින තෙල්දෙණිය පොලිසියේ පෙනී සිටීමටත් විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවීමටත් සැප්තැම්බර් මස 23 වැනි දින යළි අධිකරණයේ පෙනී සිටීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
අගතියට පත් සිසුවා වෙනුවෙන් නීතිඥ වි. මු. තිලකරත්න මහතා පෙනී සිටියේය. සැකකරු වෙනුවෙන් නීතිඥ චාරක ධර්මසිරි මහතා පෙනී සිටියේය.
තෙල්දෙණිය පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.