ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධාන කළ පළමු ජාතික කිලෝමීටර් 20 ඇවිදීමේ තරගාවලියේ පිරිමි ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ සඳරුවන් දුනුකාර සමත් වූ අතර, කාන්තා තරගයේ ජය යුද හමුදාවේම කල්හාරි මදිරිකාට හිමි වූවාය.
ඊයේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවති මේ තරගාවලියේ පිරිමි තරගය නිමා කිරීමට සඳරුවන්ට පැය 1යි මිනිත්තු 37.35ක කාලයක් ගත වූ අතර, දෙවැනි ස්ථානය දිනාගත් වයි.එස්. විමලසූරිය ගත කළ කාලය පැය 1:39.22කි. ආර්.බී.එස්.කේ. සම්පත් (පැය 1:42.58) තෙවැනි ස්ථානයට පත්විය. මේ තරගයට එක්වූ ක්‍රීඩකයන් අතුරින් මුල් ස්ථාන 16 ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයන් සතුවීම විශේෂත්වයක් වන අතර, ඉන් මුල් ස්ථාන 9 යුද හමුදාව සතු විය.
කාන්තා තරගය ජය ගැනීමට මදිරිකා පැය 1යි මිනිත්තු 51.45කින් තරගය නිමා කළ අතර, යුද හමුදාවේම පී.බී. ගයානි පැය 1:52.12කින් දෙවැනි ස්ථානයටත්, ගුවන් හමුදාවේ දිනුෂා දිහානි (පැය 1:57.03) තෙවැනි ස්ථානයටත් පත් වූහ.
මේ තරගය ලබන මස ඉන්දියාවේදී පැවැත්වෙන ආසියානු ඇවිදීමේ ශූරතාවලිය සඳහා තේරීම් තරගයක් ලෙස පැවැත්විණි.
නිරෝෂාන් ප්‍රියංකර