Home » ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන පුළුල් කිරීමට පියවර

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන පුළුල් කිරීමට පියවර

by chanaka
February 20, 2024 4:53 pm 0 comment

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියාන් (Hossein Amir-Abdullahian) මහතා අතර, සාකච්ඡාවක් අද (20) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දෙරටෙහි සමීප ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සහයෝගිතාව පුළුල් කිරීම හා වෙළෙඳ සහ ආයෝජන පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක අතිරේක විදුලි ධාරිතාවක් එක් කරන උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය සඳහා ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉරානයට ස්තූතිය පළ කළේය.

උමා ඔය ව්‍යාපෘතිය මගින් විදුලිය උත්පාදනයට අමතරව වියළි බිම් අක්කර 50,000 කට වාරි ජලය සැපයීම සඳහා ඝන මීටර් මිලියන 145 ක ජලය සපයයි. මෙම සාර්ථක ව්‍යාපෘතිය පිළිබඳව සතුට පළ කළ ඉරාන විදේශ අමාත්‍යවරයා, බලශක්තිය, ජලය, කෘෂිකර්මාන්තය, නැනෝ තාක්‍ෂණය, ඖෂධ සහ ජෛව තාක්‍ෂණය පිළිබඳ ඔවුන්ගේ විශේෂඥ දැනුම උපයෝගී කර ගනිමින් ඉදිරි ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉරානය උනන්දු වන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉරානයේ බොරතෙල් හුවමාරු වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වීම පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යවරයා සිය සතුට පළ කළේය.බොරතෙල් සඳහා ලංකාව ඉරානයට ගෙවිය යුතු ඩොලර් මිලියන 250ක් වෙනුවට ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට ඉරානය එකඟ විය. භාණ්ඩ හුවමාරු වෙළෙඳ ගිවිසුම යටතේ මේ වනවිට ඉරානයට ඩොලර් මිලියන 20ක තේ අපනයනය කර තිබේ. ග්‍රාමීය විදුලිබල සැපයුම් ව්‍යාපෘතිය සඳහා තවත් යුරෝ මිලියන 31ක ප්‍රදානයක් ලබාදීමට ද ඉරානය එකඟ වී තිබේ.

එක්සත් ජනපද ඩොලර් වෙනුවට ආසියානු මුදල්වලින් වෙළඳාම් කිරීමට කටයුතු කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා සහ ඉරාන අමාත්‍යවරයා එකඟ වූහ. අමාත්‍ය අමීර්-අබ්දුල්ලාහියන් පැවසුවේ ඉරානය, ඉන්දියාව සහ චීනය සමඟ වෙළඳාම් කිරීමට බැංකු කටයුතු දැනටමත් සූදානම් කර ඇති අතර ශ්‍රී ලංකාව සමඟ ද එවැනිම විධිවිධාන සලසා ගත හැකි බවයි.

ආර්ථික අර්බුදයේදී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් නොමසුරු සහය සම්බන්ධයෙන් ඉරාන රජය වෙත ස්තූතිය පුද කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය. ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පුරා පැරණි සබඳතා ගැන සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සබඳතාවක් යනු අන්‍යෝන්‍ය විශ්වාසය, මිත්‍රත්වය සහ අවබෝධය මත පදනම් වූවක් බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංසදවලදී ඉරානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේය.

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkosh), බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මොජ්ටොබා අක්බාරි (Mojtoba Akbari), ඉරාන සහකාර අමාත්‍ය සෙයඩ් මව්සවි රසූල්(Seyed Mousavi Rasoul), රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT