පෙබරවාරි 23 වන දිනට යෙදී තිබෙන ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මැතිතුමාගේ 138 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් සැකැසුණු ලිපියකි.
ඩී. ආර්. විජයවර්ධන මහතා යනු තවත් එක් පත්තර සමාගමක අයිතිකරුවකු ලෙස හඳුන්වා දිය නොහැකිය. ඔහු මෙරට පත්තර කලාව විධිමත් පත්තර කලාවක් බවටත් පුවත්පත් කලාවේදියාගේ රැකියාවට වෘත්තීය භාවයක් ලබා දුන්නේද ඔහුය. මෙරට පුවත්පත් කලාව විවිධ ආකාරයෙන් දේශ වාත්සල්‍යය ගොඩ නැඟීමට මෙන්ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වහරන සියලු ජන කණ්ඩායම් අතර සමඟිය සහ අවබෝධය ඇති කිරීමට ද කටයුතු කළේය. ඔහු බිහි කළ මහා පත්‍ර මන්දිරය වන ලේක්හවුස් මන්දිරය තුළ ජාති භේදයෙන් තොරව එක වහලක් යට කටයුතු කිරීමේ ඉඩ විවර කර දුන් අතර එදා සිට අද දක්වාම මෙරට සිටින සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර සමඟිය ගොඩ නඟන තැනක් බවට ලේක්හවුස් ආයතනය පත්ව තිබේ. නිදහස් අරගලයට නව පණක් ලබා දුන් විජයවර්ධන ශ්‍රීමතාණන් මෙරට පුවත්පත් මාධ්‍ය කලාවේ පමණක් නොව නිදහස් අරගලයේදී සුවිශේෂ චරිතයක් සහ යුග පුරුෂයකු ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල අධ්‍යාපනය
කැලණි වැලි මිටියාවතේ අගනුවරට ආසන්නව සේදවත්ත නම් පැරැණි ග්‍රාමයේ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම්තුමාගේ සහ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ ගේ තෙවැනි පුත්‍රයා ලෙස එක්දහස් අටසිය අසූ හයේ පෙබරවාරි මස විසි තුන්වන දින දොන් රිචඩ් විජයවර්ධන දරුවා උපත ලැබුවේය. කොළඹ මෝදර පිහිටි ශාන්ත තෝමස් විද්‍යාලය ලෙස ප්‍රකට එදා ගල්පල්ලියේ ඉස්කෝලය ලෙස කොළඹ කවුරුත් දැන සිටි ගල්පල්ලියේ ඉස්කෝලයෙන් මූලික අධ්‍යාපනය ලබා, උසස් අධ්‍යාපනය ලැබීමට එංගලන්තයට ගිය අතර ඔහු උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත්තේ බ්‍රිතාන්‍යයේ ලෝක ප්‍රකට විශ්වවිද්යායතනයක් වූ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයි. එවක මෙරට තුළ උසස් අධ්‍යාපන මට්ටමේ විශ්වවිද්‍යාල නොතිබීම නිසා, හේ තම උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගැණුනේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයි. එංගලන්තයේ ඒ වන විට උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල රැසක් පිහිටා තිබුණද මෙරට මෙන්ම යටත් විජිතවාදී අනෙකුත් රටවල තරුණයන් තම උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගැණුනේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය යනු ලොව පුරා සිටින තරුණ කණ්ඩායම් එකට එක්වූ තැනක් වූ අතර සර් ජේම්ස් පීරිස්, සර් පොන්නම්බලම් අරුණාචලම් මහත්වරු එදා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිටි දීප්තිමත් සිසුන් වූහ.
විජයවර්ධන සිසුවා අධිනීතිඥයකු වීමේ චේතනාවෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ, එකල මෙරට තිබූ සමාජ මට්ටමේ ඉහළම පිළිගැනීමක් අධිනීතිඥ ධුරය සඳහා තිබූ බැවිනි. ඉන්දියාවේ අගමැතිවරයෙකුව සිටි ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා ද විජයවර්ධන මහතා එහි ශිෂ්‍යයෙකුව සිටි අවධියේ එම විශ්වවිද්‍යාලයේම උගත් ශිෂ්‍යයෙකි. උසස් අධ්‍යාපනය ලැබූ යුගයේ සුද්දන්ගේ රටේදී මෙරට, සුදු ජාතිකයන් ගෙන ගිය පාලනයට එරෙහිව ඔවුනට කරුණු වටහා දීමටත්, ඒ වෙනුවෙන් යම් සහන ලබා ගැනීමටත් විජයවර්ධන මහතා සමත්විය. කේම්බ්‍රිජ් සරසවියෙන් බිහි වූ තවත් එක් අධිනීතිඥවරයකු ලෙස නීති උපාධිය ලබා දොන් රිචඩ් විජයවර්ධනයන් එක්දහස් නවසිය දොළහේදී මව්බිමට නැවත පැමිණි අතර ඔහු මෙරටදී සිය නීති වෘත්තිය ආරම්භ කළේය.
පුවත්පත් සිහිනය
මව්බිමට පැමිණ කෙටි කලක් නීති වෘත්තියෙහි යෙදුණ ද, විජයවර්ධනයන්ගේ සිහිනය වූයේ නීතිඥවරයකු ලෙස දීර්ඝ ගමනක් යෑම නොවේ. ඔහුගේ යටිසිතේ පැලපදියම් වූ සිහිනය වී තිබුණේ පුවත්පත් ආයතනයක් ආරම්භ කිරීමය. ඒ සිහිනය ඔහුගේ සිත තුළ තිබූ පත්තර ආයතනයක් ආරම්භ කිරීම කේම්බ්‍රිජ් ශිෂ්‍ය අවධියේ සිටම පැවැති එකක් බව එච්.ජේ.එල්. හුළුගල්ල මහතා විසින් රචනා කරන ලද විජයවර්ධන චරිතාපදානය ග්‍රන්ථයේ සඳහන්ව තිබේ.
අළුත්කඩේ උසාවි සංකීර්ණයේ නීති පුස්තකාලයේ පොත්පත් පරිශීලනයත්, දක්ෂ නීතිඥයන් හමුවීමත් පුරුද්දක් කොටගෙන තිබුණු විජයවර්ධන මහතා මෙරට නිදහස දිනා ගැනීම සඳහා උපක්‍රමශීලී ලෙස සිය කාර්යභාරය ආරම්භ කරන ලදී. ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී තිබූ පුවත්පත්වල නාම හා ඒවාහි මුද්‍රණාල මිලදී ගෙන ඔහු එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම නමින් පුවත්පත් ආයතනයක් ඇති කළ අතර එකල වන විට මෙරට පුවත්පත් රැසක් පළ වෙමින් තිබුණද නිසි ලෙස සංවිධානාත්මක සහ ආයතනගත ලෙස පුවත්පත් සමාගමක් ලෙස මෙරට බිහි වූ ප්‍රථම පුවත්පත් ආයතනය ලෙස ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම හඳුන්වා දිය හැකිය.
“සිලනීස්” පුවත්පත ඩී. ආර්. විජයවර්ධන මහතා උගත් ලාංකික නියෝජිතයා තේරීම සඳහා පැවැති නිලවරණයේදී පොන්නම්බලම් රාමනාදන් මහතා වෙනුවෙන් පළ කළ සිලනීස් පුවත්පත මිලදී ගත් අතර 1909 දී ආරම්භ කර පවත්වාගෙන යමින් තිබූ දිනමිණ පුවත්පත මිලට ගත් අතර දෛනික පුවත්පතක් ලෙස සීමිත පාඨක පිරිසක් අතර ප්‍රසිද්ධව තිබූ පුවත්පතක් වූ දිනමිණ සිංහල භාෂාවෙන් පළ වූ තෙවන දෛනික පුවත්පත ලෙස සඳහන් කළ හැකිය. රත්මලානේ ධර්මාරාම හිමිගේ නමක් වූ දිනමිණ නම පමණක් මිලට ගත් විජයවර්ධන මහතා කෙටි කාලයක් තුළ මෙරට ගම් දනව් පුරා පැතිර යන කීර්තියක් සහිතව වැඩිම ජනතා කැමැත්ත ඇති පුවත් අතර පළමුවැන්න බවට දිනමිණ පත් කිරීමට විජයවර්ධන මහතාට හැකියාව ලැබුණි. “දිනමිණ” යන අකුරු හතර ජනගත කිරීමට මෙන්ම ජනගත කළ ඒ අකුරු හතර ශත වර්ෂයක් ඉක්මවමින් අද දක්වා ජන හදවත් තුළ රැඳී තිබෙනුයේ ඩී. ආර්. විජයවර්ධන මහතාගේ මහිමයෙනි. එච්. එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් ආරම්භ කළ දිනමිණ විවිධ පරිවර්තනයන් මැද අද පවා නොනැසී පවතින්නේ පත්තර ලෝකයේ දිනමිණ බවට පත් වෙමිනි.
මුලින්ම විජයවර්ධන මහතා විසින් දිනමිණ පුවත්පත විශාල කර නව කාර්ය මණ්ඩලයක්ද සමඟින් පිටකොටුවේ නොරිස් වීදියේ වෙනම ගොඩනැඟිල්ලක පිහිටුවන ලදි. “ඩේලි නිවුස්” පුවත්පත විජයවර්ධන මහතා ආරම්භ කරන ලද්දේ 1918 ජනවාරි 03 වන දිනයේදීය. කෘතහස්ත මාධ්‍යවේදියකු වූ එස්.ජේ.කේ. ක්රව්දර් මහතා විජයවර්ධනයන් හා ඒකමතිකව පුරා වසර 12ක් ඩේලි නිවුස් පුවත්පතේ කර්තෘ ධුරය හොබවන ලදී. මෙම පුවත්පත ආරම්භයේදී මුද්‍රණය කළේ කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට පිහිටා තිබූ පැරැණි සිලනීස් කාර්යාලයේය. ජාතික නිදහස උදෙසා සටන් කළ නායකයන් වූ ඩී.එස්. සේනානායකයන්ට සහ ඩී. බී. ජයතිලකයන් ඇතුළු ජාතික සටන්කරුවන්ට ඩේලි නිවුස් පුවත්පත තෝතැන්නක් වූ අතර 1923 දී ඔබ්සවර් පුවත්පතෙහි හිමිකාරිත්වයද විජයවර්ධන මහතා සිය ආයතනය වෙත මිලදී ගත්තේය.
ලේක්හවුස් මන්දිරය ඉදිකිරීම
පුවත්පත මුද්‍රණයේ සිට එය පාඨකයා අතට පත්වන තෙක් සිදු කෙරෙන සියලුම කාර්යයන් පිළිබඳව විජයවර්ධන මහතා පැහැදිලි තක්සේරුවක සිටියේය. ඔහු නිරන්තරයෙන් ඒ පිළිබඳව සොයා බැලුවේය. ඒ අනුව වාණිජ පුවත්පත් කර්මාන්ත ක්ෂේත්රයේ විශාලතම සමාගම ආරම්භ කිරීමට ඔහුට හැකි වූ අතර කොළඹ තැනින් තැන ස්ථානගතව තිබූ දිනමිණ, ඩේලි නිවුස්, ඔබ්සවර් පුවත්පත් ඒවායේ දැන්වීම් අංශ ඇතුළු තැන් කොළඹ එක තැනකට ගෙන ඒමට කටයුතු කළේය. එහි අවසාන ජයග්‍රහණය වූයේ කොළඹ කොටුව පෙනෙන දුර බේරේ වැව් ඉවුරේ මනරම් ලේක්හවුස් මන්දිරය ඉදිකිරීම වූ අතර එම මන්දිරය මෙරට මාධ්‍ය කලාවේ මුඳුන්මල්කඩ යැයි සඳහන් කිරීම සත්‍යයකි.
1926 වසරේ සිට මෙරට ප්‍රථම මහා පරිමාණ වාණිජ පුවත්පත් ආයතනය “ලේක්හවුස්” නමින් එකම වහලක් යටතේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ අතර, ලේක්හවුස් මන්දිරය ඉදිකිරීමෙන් පුවත්පත් මුද්‍රණය කිරීම පමණක් නොව කොළඹ කොටුවට කලාගාරයක් බඳු දේශීය සම්ප්‍රදායට අනුගතව ඉදිකළ මන්දිරයක්ද ලක් ජනතාවට පිරිනැමීය. ලේක්හවුස් මන්දිරය ඉදිකිරීමේදී එතුමා හෙළ කලාවට මුල්තැන දී කටයුතු කර තිබේ. “ආබර් කොම්බි” යන ගෘහ නිර්මාණ ශිල්පියා ලවා සැලසුම් කරගෙන ඇති මෙහි ඇතුළුවන දොරටුවේ සිට සෑම අංගයකින්ම විදහාපාන්නේ දේශීය පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණයන්ය. ඒ අනුව ලේක්හවුස් ආයතනයේ එදත් අදත් ඇති සඳකඩ පහණ සහ නෙළුම් මල් මෝස්තර, නාරිලතා මෝස්තර, කොරවක් ගල් මඟින් පෙන්නුම් කරන්නේ ලේක්හවුස් ආයතනය අපේ කලා ශිල්පවලට ද ප්රමුඛත්වයක් දී ඇති බවයි. විජයවර්ධන මහතාට මුදල් පමණක් සෙවීම සිය අරමුණ බවට පත්ව තිබුණා නම් පත්තර කලාව වෙනුවට වෙනත් ලාභදායක ව්‍යාපාරයක් තෝරා ගැනීමට හැකියාව තිබුණි. එහෙත් විජයවර්ධන චරිතය තුළ සැඟව සිටි කලාකරුවා සහ සුන්දර මිනිසා මතුව පෙනුණේය.
ශත දහයේ විශ්වවිද්‍යාලය
1930 මාර්තු මස 30 දින සිළුමිණ පුවත්පත ආරම්භ කිරීම විජයවර්ධනයන් විසින් ලාංකේය පුවත්පත් නමැති සයුරට මුදාහළ අති දැවැන්ත යාත්‍රාවක් බවට පත්විය. ලංකාවේ ආරම්භ කරන ලද මුල්ම ජාතික ඉරිදා සිංහල පුවත්පත සිළුමිණ විය. පියසේන නිශ්ශංක සූරීන් සිළුමිණ ඉරිදා සංග්‍රහයේ ප්‍රථම කතුවරයා විය. සමාජයේ සෑම තරාතිරමක පුද්ගලයන්ගේ දැනුම බුද්ධිය වර්ධනය කෙරෙන තොරතුරුවලින් පොහොසත් සිළුමිණ පුවත්පත එහි වටිනාකම පදනම් කරගෙන එදා “ශත දහයේ විශ්වවිද්‍යාලය”ලෙස ජනමනස තුළ තැන්පත් වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. පියසේන නිශ්ශංක සූරීන් දිනමිණේ කර්තෘ පදවිය භාරගත් නිසා මාර්ටින් වික්‍රමසිංහ සිළුමිණ කර්තෘවරයා ලෙස පත්වූයේ 1934 වසරේදීය.
දිනමිණ, සිළුමිණ, ඩේලි නිවුස් හා ඔබ්සවර් යන පුවත්පත් ඈත ගම් දනව් තුළ වැඩිම පාඨක සංඛ්‍යාවක් සහිතව ලංකාවේ මුද්‍රණය කෙරෙන වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වන පුවත්පත් බවට පත් විය. මෙය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කෙරෙන සෑම පුවත්පතකටම පොදු විය. ඒ අනුව 1932 වසරේදී “තිනකරන්” නම් දෙමළ පුවත්පත ද, 1948 දී “තිනකරන් වාරමංජරි” නම් සති අන්ත පුවත්පතද විජයවර්ධන මහතා විසින් ආරම්භ කරන ලදි. 1950 දශකයේ තිනකරන් පුවත්පතට එක්වන මෙරට සිටි ප්රමුඛ පෙළේ ජනමාධ්‍යවේදියකුද, මහාචාර්යවරයකුද හා පසුකාලීනව යාපනය සරසවියේ ප්‍රථම උපකුලපති ද වූ කේ. කෛලාසපති මහතා එම පුවත්පතෙහි උප කර්තෘවරයකු ලෙස සේවයේ යෙදුණේය. හතළිහ දශකය අගවන විට අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම අලෙවි වන පත්තර ගොන්නේ හිමිකරු වීමට විජයවර්ධන ශ්‍රීමතාණන් හට හැකියාව ලැබුණි. තිනකරන් සහ තිනකරන් වාර මංජරී පුවත්පත් ආරම්භ කිරීම මෙරට දෙමළ සාහිත්‍යයට සහ පුවත්පත් කලාවේ සුවිශේෂ සලකුණු ලෙස සඳහන් කළ හැකිය.
ජීවමාන විජයවර්ධන නාමය
දැඩි බොදු භක්තියකින් පසුවුවත් අනෙක් ආගම් පහත්කොට නොසැලකීම විජයවර්ධනයන්ගේ සිරිත විය. ඔහු සියලු ආගම් වෙත තමන් අදහන බුදු දහමට සමානව ගරු කළේය. සේදවත්තේ විහාරය, ගංගාරාමය, බම්බලපිටියේ වජිරාරාමය එතුමන් ඉත සිතින් ආධාර උපකාර කළ විහාරස්ථාන රැස අතරින් ප්‍රධාන විහාරස්ථන ලෙස සඳහන් කළ හැකිය. බම්බලපිටියේ වජිරාරාමයෙහි අදටත් දැකගත හැකි සිහිවටන නාම පුවරුවක එදා 1941 මාර්තු 01 දින ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් සිදුකරන ලද මහාර්ඝ පිංකමක් පිළිබඳව මෙලෙස දැක්වේ.
“මෙම වජිරාරාමයෙහි දකුණු කෙළවර නැඟෙනහිර පර්චස් 37ක් පමණ වන බිම් කොටස ඩී.ආර්. විජයවර්ධන අධිනීතිඥතුමන් විසින් සඟසතු කොට පුදන ලදි. 1941 මාර්තු 01 දින” විජයවර්ධන මහතා පත්තර කලාවට සහ ආගමික සිද්ධස්ථානවලට පමණක් නොව අධ්‍යාපන ආයතන සුබසිද්ධිය සඳහාද අතිමහත් සේවාවක් ඉටු කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමේදී ප්‍රබල සහායක් මෙන්ම අනුබලයක් සැපයූ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ එම සේවය සිහිපත් කරමින් විශ්වවිද්‍යාලයේ ශාලාවක් ඔහුගේ නමින් නම් කර ඇත.
1930 දශකයේ මුල් භාගයේදී අනෙකුත් ව්‍යාපාරිකයන් අවධානය යොමු කරන්නටත් පෙර තම යටත් සේවකයන් උදෙසා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහිත ලේක්හවුස් සේවක අර්ථසාධක අරමුදල සකස් කළේ එතුමන් තම පෞද්ගලික ධනයෙන් අති විශාල මුදලක් ද ඒ සඳහා බැර කරමිනි. තවද සේවකයන් උදෙසා නිවාස යෝජනා ක්‍රමයක් තැනවීමට තිබුණේ තදබල වුවමනාවකි. එහෙත් එය සිදු කිරීමට පෙර එතුමන් 1950 ජුනි මස 13 වන දින වසර 64ක් ආයු වළඳා දැයෙන් සමුගෙන තිබිණි. සැබවින්ම විජයවර්ධන මහතා වැනි සද් මිනිසුන් තව තවත් පුවත්පත් කර්මාන්තයට අවශ්‍ය යුගයකි. තවත් එක් ව්‍යාපාරිකයකු නොවී රටට ජාතියට අතිමහත් සේවයක් ඉටු කළ ඩී. ආර්. විජයවර්ධන මහතා ජීවිතය හැරදමා ගොස් ශතක භාගයකට කිට්ටු වුවද ඔහු ඉටු කළ මෙහෙය තවමත් නොනැසී පවතී. තවත් සියවසක් ගත වුවද විජයවර්ධන නාමය ජීවමානය. දැන් එළඹ ඇත්තේ විජයවර්ධනලා සිය දහසින් පුවත්පත් කලාවට අවැසි යුගයකි.
උදිත ගුණවර්ධන