වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත්ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණූ ගාලු පාර රත්මලාන ඖෂධහලක් වටලා එහි හිමිකාරිය අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම ඖෂධහලේ තිබී මත්පෙති දසදහකට (10000) අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීම හේතුවෙන් මත්ද්‍රව්‍යවල දැඩි හිඟයක් පැවතීම නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බොහෝ පිරිසක් මෙම ඖෂධ හලට නිරතුරුවම පැමිණීම දැඩි සැකයක් උපදවන්නක් බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාට ලද තොරතුරට අනුව උපායදූතයන් දෙදෙනකු ලවා ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කර තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමඟ එක්ව වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැටලීම් අංශයේ ප්‍රධානී අමිත් පෙරේරා මහතා ප්රමුඛ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඖෂධහල ආසන්නයට පැමිණ පොලිස් උපායදූතයකු නැවතත් ඖෂධහල වෙත යවා මත්පෙති මිලදී ගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
පෙති දහයක් අඩංගු කාඩ්පතක් රුපියල් 450කට විකිණීමට නියමිත වුවත් මෙම ඖෂධහලේ මත්ලෝලීන් වෙත එය රුපියල් 700/= වැනි ඉතා අධික මිලකට අලෙවි කරන බවට තහවුරු වූ බවත් ඊට අමතරව වෛද්‍ය නිර්දේශ මත ලබා දිය යුතු එම ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ලබාදෙන බවට ද වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඖෂධහලේ හිමිකාරිය වන 42 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන බැඳුම්කරයක් මත මුදා හැරිය බවත් පොලිසිය සඳහන් කරයි.
ඉදිරි විමර්ශන කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් සිදු කරනු ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමිල ගෝවින්න, පොලිස් පරීක්ෂක ගයා ශ්‍රී, පො.කො.(99213) සේනාරත්න, පො.කො.(102020) බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදු කළහ.
ගල්කිස්ස – ෂෙහාන් ජයවර්ධන
දෙහිවල – ඩී පී හේරත්