ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මානත් දිනයි
පොල් කටු හැඳි හා කිතුල් ලී නිර්මාණ අරන් ජාත්‍යන්තරයටත් යයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා බළකායට එක්ව පුරා වසර 22ක් රණවිරුවකු ලෙස ගිනි අවි දරමින් රට රැකුමට කැප වූ උඩිස්පත්තුව පරගහතැන්න ප්‍රදේශයේ තරුණයකු සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු පොල් කටු හා කිතුල් ලී භාවිතයෙන් සිදු කළ නිර්මාණ සඳහා ජාතික ශිල්ප සභාව මඟින් පවත්වන 2023 ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙලේදී පොල් කටු නිෂ්පාදන අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබේ.
වයස අවුරුදු 18දී හමුදා සේවයට එක්ව රිවිරැස ඇතුළු ක්‍රියාන්විත මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වෙමින් දිවි නොතකා රට දැය රැකුමට කැප වූ සරත් විජේමාන්න රාජපක්ෂ උත්තම සේවා ඇතුළු පදක්කම් 13ක් දිනා ගැනීමෙන් පසු 2018දී හමුදාවෙන් විශ්‍රාම ගෙන 2019දී පොල් කටු හා කිතුල් ආශ්‍රිත නිර්මාණකරණයට පෙළඹී ඇත. පොල් කටු, පොල් ලී හා කිතුල් ලී භාවිතයෙන් ඔහු මේ වන විට මුළුතැන්ගේ අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරන හැඳි වර්ග 13ක් නිෂ්පාදනය කරයි. ඊට අමතරව පිඟන්, තේ කෝප්ප, කටින් බෝඩ්, බුක් මාක්, කොණ්ඩ කටු, අයිස්ක්‍රීම් කප්, මල් පෝච්චි නිෂ්පාදනය කරමින් මේ වන විට තම නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට යොමු කිරීමට ද ඔහු සමත්ව ඇත.
හමුදා සේවයෙන් විශ්‍රාම ලබා අත්කම් නිර්මාණකරණයට පිවිස වසර තුනක් වැනි කෙටි කාලයකදී ජාතික ශිල්ප සභාව මඟින් වාර්ෂිකව පවත්වන ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙලේදී පොල් කටු නිෂ්පාදන අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ලැබීම පසුපස ජාතික ශිල්ප සභාව, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළු ආයතන ගණනාවක් සිටින බව ඔහු පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ කීය.
“කුඩා කාලයේ පටන්ම නිර්මාණකරණයට මගේ කැමැත්තක් තිබුණා. ඒත් පාසල් යන අතුරතුරත් මට අවශ්‍යය වුණේ හමුදාවට බැඳෙන්නයි. කිසිඳු විනය විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවී සිදු කළ නිකැලැල් සේවය අගයමින් මට උත්තම සේවා පදක්කම ලැබුණා. කිලාලි මෙහෙයුමේදී තුවාල ලැබීමෙන් පසු සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පුහුණුකරුවකු ලෙස කලක් සේවය කළා. වසර 22ක සේවා කාලය නිමා කර හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මම ඇම්බන් වගාවක් පටන් ගත්තා. එය අසාර්ථක වුණා. ගෙදර පොල් කටු හැන්ද කැඩුණු වෙලාවේ මම හැන්දක් හදන්න කල්පනා කළා. ඒ අනුව තමයි පියවරෙන් පියවර මේ ගමන ආවේ. මගේ ඉලක්කය විදේශ වෙළෙඳපොළට නිෂ්පාදන යොමු කර රටට ඩොලර් ගෙන එන්නයි.”
මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ප්‍රියන්ති පෙරේරා මහත්මිය පැවසුවේ සහජ දක්ෂතා ඇති සරත් විජේමාන්නට ඔහුගේ නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළෙඳපොළට යොමු කරමින් ව්‍යවාසයකයකු ලෙස ගොඩනැගෙන්නට අවශ්‍ය දැනුම හා අවබෝධය යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් දෙන ලද බවයි.
අසේල කුරුළුවංශ
ඡායාරූප- රුවන් මීගම්මන