පෞද්ගලික න්‍යාය පත්‍ර අමතක කොට එකතු වී ශ්‍රී ලංකා ජයග්‍රහණ ගැන සිතමු –ඇන්ජලෝ මැතිව්ස්
මතීෂ පතිරණ පන්දු යවන ආකාරයෙන් ප්‍රතිවාදී පිතිකරුවන් අන්දමන්ද වන බවත්, ඔහු වැනි අනාගත සම්පත් හොඳින් රැකබලා ගැනීම වැදගත් වන බවත් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය. ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර දෙවැනි විස්සයි 20 තරගයෙන් අනතුරුව පෙරේදා පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් මේ බව පැවැසීය.
“මතීෂ එක දිගටම පැයට කිලෝමීටර් 150ට වැඩි වේගයකින් පන්දු යවනවා. පිතිකරු දෙසට ඒ වගේ වේගයෙන් එන පන්දුවක් පිළිබඳ හිතාගන්නවත් බෑ. අපිත් නෙට් එකේ පුහුණු වෙද්දී ඔහුගේ පන්දුවලට ගොඩක් පරිස්සම් වෙනවා. මොකද ඒ තරම් වේගයෙන් පන්දුව එනවා. ඔහුට තවම අවුරුදු 21යි. ඒ වගේ ක්‍රීඩකයෙක් හොඳින් බලාගත යුතුයි. ඔහු ඉදිරියේදී පෙරැළිකාර පන්දු යවන්නෙක් වෙනවා“ ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේය.
සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර දෙවැනි විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 72ක දැවැන්ත ජයක් අත්වූ හෙයින් මෙවර සංචාරයේ පැවැති ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරගාවලි සියල්ලම ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද ඊයේ පැවැති තරගයේ ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණට පැමිණියේය.
කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානය මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ හෙයින් කඩුලු 6කට ලකුණු 187ක් වාර්තා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන පිල ඕවර් 17කදී ලකුණු 115කට සියලු දෙනා දැවී ගියහ. තරගයේ වීරයා සම්මානය දිනාගත් ඇන්ජලෝ මැතිව්ස් තම මුල් ඕවර් දෙකේදී ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් යුගලම ක්‍රීඩාගාරයට යැවීමට සමත්වීමෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ ගියේය. මැතිව්ස් පන්දු 22කදී දැවැන්ත හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 42ක් වාර්තා කිරීම ද ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල දායකත්වයක් සැපයීය.
“ක්‍රීඩකයෝ නිදහසේ සෙල්ලම් කරද්දී එතැන ලොකු වෙනසක් පේනවා. ඔබ දන්නවා, අපට අවශ්‍ය වන්නේ එය බව. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවේදී සන්නිවේදනය ප්‍රධාන අංගයක්. තේරීම් කමිටුව, නායකයා, ක්‍රීඩකයන් සමඟ හොඳ සන්නිවේදනයක් සිදු කරන්නේ නම් මම හිතන්නේ ප්‍රතිඵලය අන් සියල්ලටම වඩා හොඳ වෙනවා. වෙනස්කම් ගැන අමතක කරන්න. පෞද්ගලික න්‍යාය පත්‍ර අමතක කරන්න. පළිගැනීම් අමතක කරන්න. එකතු වී ශ්‍රී ලංකා ජයග්‍රහණ ගැන සිතන්න කාලය උදා වෙලා. නව ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන්ට විශාල විශ්වාසයක් ලබා දී තිබෙනවා. ඒ වගේම කණ්ඩායමේ නිසි සැලසුමක් තිබෙන බව පෙනෙනවා. මේ නිසි සැලසුම වැදගත්. තේරීම් කමිටුව මා සමඟ වගේම බොහෝ ක්‍රීඩකයන් සමඟ කතා කරනවා. අනාගතය සඳහා හොඳ සැලැස්මක් සකසා තියෙනවා“ මැතිව්ස් පැවැසීය.
“ඕනෑම තරගයක් ජයගත්තාම රටටත් කණ්ඩායමටත් හොඳයි. එයින් ක්‍රීඩකයන් තුළ විශ්වාසය වැඩි වෙනවා. පළමු විස්සයි 20 තරගයේදී අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ. ඒක වාසනාව සමඟ ලැබූ ජයක්. ඒ තරගයේ අතපසුවීම් වුණා. නමුත් දෙවැනි විස්සයි 20 තරගයේදී අපි හොඳට පන්දු යැව්වා. හොඳින් පන්දු රැක්කා. ඒ නිසා ජයග්‍රහණය පහසු වුණා. සම්පූර්ණ දක්ෂතා ප්‍රදර්ශනය කළා. ඇෆ්ගනිස්තානය අවතක්සේරු කරන්න බෑ. අපේ දක්ෂතා මෙවර ඉදිරියෙන් තිබුණා“
ශ්‍රී ලංකා විස්සයි 20 පිලට වනිඳුගේ නායකත්වය අවසන් තරග දෙකේදී ඉතා හොඳින් කැපී පෙනුණ බවත්, ඔහු ක්‍රීඩකයන්ට සුහද නායකත්වයක් ලබාදෙන බවත් මැතිව්ස් සඳහන් කළේය.
ඇෆ්ගනිස්තානය අවමන් සහගත ලෙස මේ විස්සයි 20 තරගාවලියත් 3-0කින් පරාජය වන්නේද යන්න තීරණය කෙරෙන අවසන් තෙවැනි තරගය අද (21) මේ පිටියේදීම රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතය.
ඡායාරූප – සුදත් නිශාන්ත
ප්‍රින්ස් ගුණසේකර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ සිට ..