මෑත කාලයේදී රුසියාව සම්බන්ධයෙන් බොහෝ දෙනා දිනෙන් දින කියැවීමකට සැරසුණේ යුක්‍රේනය යුද්ධයකට පටලවා ගත් මොහොතේ පටන්ය. එහෙත් රුසියන් කතා පසුපසට යන්නට පටන් ගනු ලැබුවේ ඊශ්‍රායලය ගාසා තීරයට නොනවතින ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟිනි. එතැන් පටන් ගනු ලැබුවේ ලොවම ඇස් කන් අයා බලා සිටි රුසියන් – යුක්‍රේන යුද්ධයේ තොරතුරු පිළිබඳව විමසිලිමත් වනවාට වඩා ලොව බොහෝ දෙනාගේ උනන්දුව ඇතිවූයේ ඊශ්‍රායල ප්‍රහාරයන් සම්බන්ධයෙන් වන සිදුවීම් සොයා බැලීමටය. ඒ අතරවාරයේ රුසියාව සම්බන්ධයෙන් කතාබහක් ඇතිනොවුණාම නොවේ. එයින් වුව වැඩි වශයෙන් කියැවුණේ රුසියානු ජනාධිපති පුටින්, ඊශ්‍රායල – හමාස් ගැටුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් පිළිබඳවය. එහෙත් හිටිහැටියේ ජාත්‍යන්තර මාධ්‍යයන් තුළ රුසියාව ගැන කතාබහක් ඇතිවූයේ රුසියානු විපක්ෂ නායකවරයා බන්ධනාගාරයේදී මිය යාමත් සමඟය. එරට පුවත් සේවාවන් මෙය වාර්තා කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි 16 වැනිදාය. ඔහු නමින් ඇලෙක්සායි නවාල්නිය.
නවාල්නි වඩාත් ප්‍රසිද්ධව සිටියේ කිසිඳු පැකිළීමකින් තොරව එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව දැඩි ලෙස විවේචනය කළ අයකු ලෙසිනි. ඔහුව මුල්වරට අත්අඩංගුවට ගනු ලැබුවේ 2013 වසරේ ජූලි මාසයේදීය. එහිදී පැවැති නඩු විභාගයකදී ඔහුට මූල්‍ය චෝදනා නඟා පස් අවුරුදු සිරදඬුවමකට ලක්කිරීමට තරම් රුසියානු පාලකයෝ කටයුතු කළහ. එහෙත් නවාල්නි එම චෝදනා සියල්ල දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. මෙම අත්අඩංගුවට ගැනීමේදී ද අමෙරිකා එක්සත් ජනපදය මෙන්ම යුරෝපා සංගමය එය හෙළා දැකීය.
2017 දී අත්අඩංගුවට
ඉන්පසු ඔහුව 2017 මාර්තු මාසයේදී ද අත්අඩංගුවට ගනු ලැබුවේ නවාල්නි ඇතුළුව සියයකට අධික පිරිසක් ද සමඟිනි. එම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ මොස්කව් අගනුවරදී දූෂණ විරෝධී උද්ඝෝෂණයක් අතරතුරදීය. මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබ තිබුණේ ක්‍රෙම්ලින් පාලනයට ළඟ සබඳතාවක් ඇති බලධාරීන් මූලික කරගනිමිනි.
කෙසේ වෙතත් නවාල්නි මිය යන විට සිරදඬුවම් විඳිමින් සිටියේ රුසියාවේ දුෂ්කරතාවන් අතින් ඉහළින්ම සිටින බන්ධනාගාරයන්ගෙන් එකක් වන ආක්ටික් කලාපයේ පිහිටි බන්ධනාගාරයකදීය.
‘සිකුරාදා දවසේ ඔහු අසනීපයෙන් හිටියා. ඉන්පසු ඔහු හදිසියේ සිහිසුන් වුණා’
රුසියානු බන්ධනාගාර බලධාරීන් නවාල්නිගේ මිය යාම පිළිබඳව සඳහන් කර තිබුණේ එවැන්නකි. ඔවුන් එසේ සඳහන් කර තිබුණ ද මිය යාමට දින දෙකකට පෙරදී ද නවාල්නි යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරන්නේ ඔහුගේ හිතවාදීන්ය. මේ නිසා ඔහුගේ මරණය සම්බන්ධයෙන් ව්ලැදිමීර් පුටින්ට සහ ඔහුගේ රජයට මේ වන විට ඇඟිල්ල දිගු වෙමින් පවතී. එය වඩාත් සාධාරණීය ලෙස ඔවුන් ඉදිරිපත් කරනුයේ දැඩි වශයෙන් පුටින්ව විවේචනය කළ තැනැත්තා නවාල්නි ලෙසත්, ඔහුව කීප වරක්ම ඝාතනයට තැත්කර ඇතැයි ද යනුවෙන් පවසමිනි. ඔවුනට එය තවත් අලංකාරවත් ලෙස ඉදිරිපත් කළ හැකිව ඇත්තේ නවාල්නි සිරගතව සිටි අවසාන කාලයේ මිනිස් වාසයෙන් පවා තොර දුෂ්කර මෙන්ම අඩු පහසුකම් තිබෙන බන්ධනාගාරයකට ඔහුව මාරුකර හැරීමය. කොයිහැටි වෙතත් ඔහු මිය යාමෙන් අනතුරුව නවාල්නිගේ මව සහ නීතිඥයා මෘත ශරීරාගාරයට ගොස් සිරුර බාරගැනීමට ගිය ද සෙනසුරාදා දිනයේ ද ඔවුනට එය ලබාදීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර නොතිබුණි.
‘නවාල්නි මිය ගිය බව වෛද්‍යවරුන් ප්‍රකාශයට පත් කළා. මරණයට හේතුව විමර්ශනය කරමිනුයි තිබෙන්නේ’ ඇලෙක්සේයි නවාල්නිගේ නීතිඥවරයා එසේ සඳහන් කරනුයේ පවතින තත්ත්වය යටතේ අන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පවසමිනි.
මේ අතර නවාල්නිගේ මව ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටියේ තම පුත්‍රයාගේ අවසාන කටයුතු ගෞරවනීය ලෙස සිදු කිරීම සඳහා ඔහුගේ සිරුර තමා වෙත ලබාදෙන ලෙසයි. ඇයගේ ලිපිය අල්ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ මෙසේය.
‘ව්ලැදිමීර් පුටින්, මම ඔබට ආයාචනා කරමින් පවසා සිටින්නේ මෙම ගැටලුව විසඳීම රැඳී ඇත්තේ ඔබ මත පමණක් වන බැවිනි. අවසන් වතාවට මගේ පුතා මට බලන්න දෙන්න. පස්වැනි දවසෙදිවත් මම එයාව දැක්කෙ නෑ. ඔවුන් මට සිරුර භාරදෙන්නේ නෑ. එය තබා තියෙන්නේ කොහේද කියලවත් මට කියන්නේ නෑ. භූමදානය කිරීමට හැකිවන පරිදි ඔහුගේ දේහය වහාම නිදහස් කරන්න’ යනුවෙනි.
එහෙත් මේ හා සමාන සාමකාමී අදහස් ඉදිරිපත් කරන්නට නවාල්නිගේ බිරිඳ වූ යුලියා නවාල්නායා ඉදිරිපත් නොවූවාය. ඇය ප්‍රකාශ කරන්නේ පුටින් සහ ඔහුගේ මිතුරන් මෙම මරණය සම්බන්ධයෙන් වගකිවයුතු බවය. ඇය මේ අයුරින් සඳහන් කළේ පසුගිය සතියේ රාජ්‍යතාන්ත්‍රිකයින් සහ යුරෝපා සංගමයේ විදේශ ඇමැතිවරුන් ඉදිරිපිට මියුනිච් හිදීය. තවදුරටත් ඇය ප්‍රකාශ කරනුයේ තම ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියාව ඝාතනය කළ ජනාධිපතිවරයකුට නීත්‍යනුකූල බවක් තිබිය නොහැකි බවය.
බටහිරින් චෝදනා
බන්ධනාගාරයක් තුළ කිසිඳු අසනීප තත්ත්වයක් හෝ නොමැතිව රුසියානු විපක්ෂ නායකවරයා මිය යාම රුසියාවට පමණක් වූ පුවතක් නොවුණි. මේ සම්බන්ධව බොහෝ බටහිර රටවල් තම අදහස් දක්වා තිබුණේ පුටින් වෙත ඇඟිල්ල ද දිගු කරමිනි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙය පුටින් සහ ඔහුගේ කණ්ඩායම එක්ව කළ දෙයක් ලෙසිනි. එමෙන්ම තවදුරටත් කරුණු දක්වමින් සඳහන් කරන්නේ පුටින්ව විවේචනය කරනු ලබන අනෙකුත් රටවල්වල අදහස් සමඟ තමා ද එක්වන බවයි.
බන්ධනාගාරයක් තුළ මේ අයුරින් තම නායකයා මිය යාම පිළිබඳව උරණ වූ අනුගාමිකයන්, නවාල්නිගේ අනුස්මරණ කටයුතු වෙනුවෙන් මොස්කව් අගනුවර සහ අනෙකුත් නගරයන්වලත් ඔහු රඳවා සිටි බන්ධනාගාරය ඉදිරිපිටත් ඉටිපන්දම් දැල්වීමටත් මල් තැබීමටත් කටයුතු සූදානම් කළහ. එහෙත් නවාල්නිගේ සැමරීම ඔවුනට ඒ ආකාරයෙන් කරගෙන යාමට රුසියානු බලධාරීන් ඉඩ ලබා දුන්නේ නැත. මේ සඳහා සම්බන්ධ වුණු හාරසියයක පමණ පිරිසක් අත්අඩංගුවට ගැනීමට රුසියානු ආරක්ෂක අංශ කටයුතු කළහ.
2015 සිදු වූ ඝාතනය
පසුගිය පෙබරවාරි 16 වැනිදා බන්ධනාගාරයක් තුළදී නවාල්නි මිය ගිය ද මේ වන විට බහුතරයකගේ චෝදනාවලින් කියැවෙන්නේ එය රුසියානු බලඅධිකාරියේ දැනුම්වත් වීම මත සිදු කළ ඝාතනයක් යන්නයි. මේ ආකාරයට රුසියාව තුළ විපක්ෂයේ ප්‍රබලයකු එරට ජනතාවට අහිමි වූ පළමු අවස්ථාව ද මෙය නොවේ. මීට පෙර එනම් 2015 පෙබරවාරි 28 වැනිදා ද රුසියාවේ මොස්කව් නුවර ක්‍රෙම්ලිනයට ආසන්න වීදියකදී ඝාතනයක් සිදුවිණි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව දැඩි ලෙස විවේචනයට ලක්කරමින් කතා කළ විරුද්ධ පක්ෂ නායකයකු වන බොරිස් නෙම්ත්සොව් ඝාතනය කර තිබුණේ ඔහු ගුවන්විදුලි සාකච්ඡාවකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදීය. මෙම ඝාතනය සම්බන්ධයෙන් එවක අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ද අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. මේ අනුව එම ඝාතනයට අත්අඩංගුවට ගනු ලැබුවේ උතුරු කොකේසියානුවන් දෙදෙනෙකි. මේ ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති පුටින් පවසා සිටියේ ජනතාව කුපිත කිරීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. ඔහුගේ එම ඝාතනයේදී හිටපු යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ රුසියාව හා යුක්‍රේනය යා කළ පාලම වූයේ නෙම්ත්සොව් බවයි.
කවුරුන් කෙසේ අදහස් දැක්වුව ද නවාල්නිගේ මිය යෑම සම්බන්ධයෙන් කරුණු එළිදැක්වීමට පරීක්ෂණයක් කළ යුතු හෙයින් සිරුර භාරදීමට අවම වශයෙන් දින 14ක් හෝ අවශ්‍ය වන බව රුසියානු බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කර තිබේ. නවාල්නිගේ හදිසි මිය යෑම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් පසුගිය සඳුදා ඉල්ලීමක් කරනු ලැබුවේ මේ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවය. නමුත් රුසියන් බලධරයින් එය ප්‍රතික්ෂේප කරන්නට විය.
මේ සියලු කතා මැද රුසියාවේ මැතිවරණය පැවැත්වීමට දින සකස් වී ඇත්තේ එළැඹෙන මාර්තු මාසයේදීය. මාර්තු 15 සිට 17 දක්වා පැවැත්වෙන ජනපතිවරණයේදී මීළඟ වසර 6ක පාලන කාලය දක්වා තම බලය වර්ධනය කර ගැනීමට පුටින් සියලු බලය යොදවනවා නිසැකය.
එහෙත් දැන් දැන් අසන්නට තිබෙන කතා අනුව නවාල්නිගේ බිරිය ප්‍රකාශ කර ඇත්තේ තමා දේශපාලනයට වුවද එන්නට හැකියාවක් තිබෙන බවය. කෙසේ වෙතත් දැන් ඇයට ස්වාමිපුරුෂයෙක් මෙන් තම දරුවනට පිය සෙනෙහස ද අහිමිව ගොස් අවසන්ය. රුසියාවේ දේශපාලනය හෝ කුමන්ත්‍රණකාරී සිදුවීම් පවා එක පැත්තකට දැමුව ද තරාදියේ තවත් පැත්තක් ඊටත් වඩා බරකින් යුක්තය. ඒ යුලියා නවාල්නාගේ වචනවලින් සඳහන් කරන්නේ නම් ‘ව්ලැදිමීර් පුටින් විසින් මගේ සැමියාව ඝාතනය කරනු ලැබුවා. ඒ ඝාතනය කළේ මගේ දරුවන්ගේ පියාය. මා හට තිබූ වටිනාම වස්තුවයි. මෙලොව මා වඩාත්ම ආදරය කළ මිනිසාය’ යනුවෙනි.