Saturday, May 10, 2025
Home » සනත් නිශාන්තගේ මරණය ගැන මහෙස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්

සනත් නිශාන්තගේ මරණය ගැන මහෙස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්

by chanaka
February 24, 2024 10:50 am 0 comment

ජල සම්පාදන හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා සඳහන් කර ඇත.

සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති බව අවධාරණය කරමින් මහෙස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

සන්ත නිශාන්ත මහතාට මරු කැඳවූ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවළපිටිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙම සිද්ධියෙන් අතෘප්තියට පත් වූ බව පවසමින් සනත් නිශාන්ත මහතාගේ බිරිඳගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා මෙම සිද්ධියෙන් මිය ගිය අයගේ මරණයට හේතූව ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඒ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ, මෙම අනතුරින් මිය ගිය සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති හෙයින් මෙම මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

රිය අනතුරක් සිදු වූ විට එම ස්ථානය පරීක්‍ෂා කිරීමට අවශ්‍යතාවක් නැතත් අනතුර සිදු වූ පසුගිය ජනවාරී 24 වැනි දා තමා එම ස්ථානය නීරීක්‍ෂණය කළ බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා, ඉන් ගැටලු අවම කර ගැනීමට හැකියාවක් ලැබුණු බව අවධාරණය කළ බව සඳහන් කර තිබේ.

මෙම සිද්ධියේ දී මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස කඳාන පොලිස් නිලධාරින්ට දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා, ලබන ජුලි මස පළමු වැනි දා මෙම පැමිණිල්ල යළි කැඳවීමට ද නියම කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT