Saturday, May 10, 2025
Home » වනිඳුට දඬුවම් නියම වෙයි – ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දෙයි

වනිඳුට දඬුවම් නියම වෙයි – ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දෙයි

by chanaka
February 24, 2024 11:06 am 0 comment

ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු නායක වනිඳු හසරංග හට දඬුවම් නියම කර තිබේ.

ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන් ම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති බව සඳහන්වේ.

මේ බව ඊයේ (23) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

ඒ අනුව බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙකක් වනිදුට අහිමි වනු ඇත.

ලබන මස 04 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියට තරග තුනක් ඇතුළත්ය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තෙවන තරගයේ දී විනිසුරු ලින්ඩන් හැනිබල්ගේ තීරණය සම්බන්ධයෙන් වනිඳු හසරංග සිය විරෝධය පළ කළේය. පිටියේ දී විනිසුරුවරයා සමඟ උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ දී වනිඳු විසින් විනිසුරුවරයාගේ තීරණ විවේචනය කර තිබුණි.

එහි දී ඔහු ප්‍රකාශ කර සිටියේ, ලින්ඩන් හැනිබල් මෙවැනි තීරණ ලබා දෙන්නේ නම් විනිසුරු වෘත්තිය අතහැර වෙනත් රැකියාවක් සොයාගත යුතු බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් තරග තීරකවරයාට (ක්‍රිස් බ්‍රෝඩ්) පැමිණිල්ලක් ද සිදු කරනු ලැබීය.

මෙම තරගයේ දී හසරංග සිදු කර ඇත්තේ, ICC චර්යාධර්ම සංග්‍රහය යටතේ, 2 වැනි මට්ටමේ චෝදනාවකි. ඔහුට මීට පෙර සිදු කර ඇති වැරදි සම්බන්ධයෙන් දැනටමත් වැරදි ලකුණු දෙකක් ලබා තිබීමත් විශේෂත්වයකි.

ඒ හේතුවෙන්, වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පනවා ඇත. පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 03ක තියුණු ජයක් හිමි විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි ලකුණු 209ක් රැස්කරගත්තේය. අනතුරුව ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 206ක් පමණි.

එම තරගයේ දී අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක් විනිසුරුවරයා විසින් නිපන්දුවක් ලෙස සංඥා නොකළේය. තරගය අවසන් වීමෙන් අනතුරුව නායක වනිඳු හසරංග විසින් ඊට සිය විරෝධය පළ කළේය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT