Home » ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් හාමුදුරුවරු 24 නමක් ඝාතනය කළා

ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් හාමුදුරුවරු 24 නමක් ඝාතනය කළා

-අද වෙනකං ඔය නායකයෝ එක්කෙනෙක්වත් සමාව ඉල්ලුවේ නෑ

by sachintha
February 26, 2024 1:00 am 0 comment

මට අවුරුදු හතරෙදි ජවිපෙ මගේ තාත්තා මැරුවා

නව සන්ධානයේ දෙවැනි ජන රැලිය අමතමින් සුගීෂ්වර බණ්ඩාර කියයි

ජවිපෙ වේදිකාවක් වේදිකාවක් ගානේ කියන්නේ හොරු ඇල්ලුවම ආර්ථිකය නැඟිටිනවා කියලා. අල්ලපු හොරෙක් නෑ

2022 අප්‍රේල් වෙනකොට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. ඒකෙන් වුණේ දේශද්‍රෝහී බලවේග ඔළුව උස්සපු එක.

” ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් හාමුදුරුවරු 24 නමක් ඝාතනය කළා. අද වෙනකං ඔය නායකයෝ එක්කෙනෙක්වත් සමාව ඉල්ලුවේ නෑ. අපි අනුර කුමාරගෙන් අහනවා , කට ඇරලා කියන්න මේ ඝාතන කළාද නැද්ද කියලා?

මහා සංඝයාට දැන් ප්‍රෝඩාවක් කරනවා. එය නැවැත්විය යුතුයි. අපි හැමෝගෙම ජීවිත තුළ දුක්බර කතාවක් තියෙනවා. මගේ තාත්තා මහේස්ත්‍රාත්වරයෙක්. ඔහු කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය කළා. ජනතා විමුක්ති පෙරමුණ මගේ තාත්තා මැරුවා. ඒ වෙනකොට මට වයස අවුරුදු හතරයි. අවුරුදු 42දී මගේ අම්මා කනවැන්දුම් කළා. මම තාත්තාගෙ මිනිය එක්ක සෙල්ලම් කළා. අපේ වගේ දහස් ගානක් ජීවිතවලට ඒ අය කළ අපරාදෙ තමයි ඒ.” යනුවෙන් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ නව සන්ධානයේ කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පෙරේදා (24) පැවති නව සන්ධානයේ දෙවන ජන රැලියට සහභාගී වෙමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙලෙසද පැවැසීය.

“ලෝක ඉතිහාසයේ බොහෝ රටවල් අර්බුදවලට මුහුණ දුන්නා. නමුත් අර්බුදවලින් නැඟී සිටින්නත් එම අයට පුළුවන් වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයක් මෑතකදී තිබුණා. අරගලකරුවන් පාර්ලිමේන්තුව වට කරලා ප්‍රහාර එල්ල කරන්න සූදානම් වුණා. කෙසේ හෝ එය මැඬ පැවැත්වූවා. රටක ස්වෛරීත්වයට ආර්ථික අර්බුදය බලපෑම් කරනවා. ඒ වෙනුවෙන් එකාවන්ව නැඟී සිටිය යුතුයි. පෙන්ටගනයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ඒ රටේ දේශපාලන පක්ෂ එරට රජයට සහයෝගය දුන්නා. රට ගැන අලුතින් හිතන දේශපාලන සංස්කෘතියක් අප නිර්මාණය කළ යුතුයි. කෑමොර දීලා සුරංගනා කතා කියලා විවේචනය කර රටක ප්‍රශ්න විසඳන්න බෑ.

හයිඩ් පිටියට ඔබව කැඳවූයේ ඒ නිසයි. ඉන්දියාවත් ආර්ථික අර්බුදයට මුහුණ දුන් රටක්. අද ඉන්දියාව ලෝකයේ 5 වෙනි ආර්ථික බලවතා. 2030 වෙද්දී ඉන්දියාව තෙවැනි ආර්ථික බලවතා වෙනවා. google සමාගමේ සේවකයන් විශාල පිරිසක් සේවයෙන් ඉවත් කළා. එයට හේතුව කෘත්‍රිම බුද්ධිය. එහෙම බලනකොට අපි කොහෙද ඉන්නෙ. අද ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ පීඩනය මැදින් දේශපාලනය කරනවා. ජනතා විමුක්ති පෙරමුණ කොළඹ ඉඳන් ඉන්දියාව විවේචනය කළා. අද ඉන්දියාවේ ගිහින් අමුල් සමාගම එක්ක සාකච්ඡා කරනවා.

අද ජනතා විමුක්ති පෙරමුණ එක සඟ සමුළුවක් තියෙනවා. ඒ අයට සදාචාර අයිතියක් නෑ එහෙම කරන්න. හාමුදුරුවෝ 24 නමක් ඝාතනය කළා. තවම එක වචනයක් ඒ ගැන කතා කළේ නෑ. සමාව ගත්තෙ නෑ. අපි අනුර කුමාරගෙන් අහනවා රටට කියන්න ඒවා කළාද ? නැද්ද ? කියලා අපි හැමෝගෙම ජීවිත තුළ දුක්බර කතාවක් තියෙනවා. මගේ තාත්තා නීතිඥවරයෙක්. කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය කළා. ඔහු මහේස්ත්‍රාත්වරයෙක්. මගේ තාත්තා මැරුවා. මට වයස අවුරුදු 4යි. අවුරුදු 42දී මගේ අම්මා කනවැන්දුම් කළා. මම තාත්තාගෙ මිනිය එක්ක සෙල්ලම් කළා. අපේ වගේ දහස් ගානක් ජීවිතවලට ඒ අය කළ අපරාදෙ තමයි ඒ. අද ඒ අය කාන්තා විමුක්තිය ගැන කතා කරනවා. මහා සංඝයාට දැන් ප්‍රෝඩාවක් කරනවා. එය නැවැත්විය යුතුයි. අපි අද පක්ෂයක් නැති, පාටක් නැති සන්ධානයකින් රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා. ඉදිරියේදී රටේ අධ්‍යාපන, ධීවර, සංස්කෘතික ප්‍රතිසංස්කරණ හැදෙන්නෙ මේ සන්ධානයෙන්‍.”

නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලාන්සා මහතා

“මෙතැනට ඇවිත් ඉන්න මේ ජන ගඟ නව සන්ධානයට දෙන ශක්තියට මුලින්ම මාගේ ස්තූතිය පුද කරනවා. අපේ වැඩසටහනට විශාල ශක්තියක් දෙන පිරිසක් තමයි මෙතැන ඉන්නේ. මේ නව සන්ධානය පොරොන්දු දෙන තැනක් නෙමේ, වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන ගමනක්. අවුරුදු 70ක් මේ රට විනාශ වුණේ පොරොන්දු දී බලයට පත් වූ නිසයි. පොරොන්දු දී බලය ගත්තාම පොරොන්දු ඉටු කරන්න සල්ලි ණයට ගන්න සිදු වුණා. නැතිනම් සල්ලි අච්චු ගහන්න සිද්ධ වුණා. පොරොන්දු ඉටු කරන්න සල්ලි නෑ. ණය ගැනීමෙන් සහ මුදල් අච්චු ගැසීමෙන් රට විනාශ වුණා. ඒ නිසා මේ නව සන්ධානයේ ප්‍රධාන අරමුණ ජනතාවට ඇත්ත ප්‍රකාශ කරන එක. සත්‍ය කතා කරන එක. ජනතාවට යථාර්ථය අවබෝධ කර දීමයි. එහෙම නැතිව බොරු කියන එක නෙමේ. වේදිකාවක් වේදිකාවක් ගානේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හොරු ඇල්ලුවම ආර්ථිකය නැඟිටිනවා කියලා. හොරු අල්ලන්න 2015 FCID එක දාලා තිබුණා. අල්ලපු හොරෙක් නෑ. නැවතත් ඒකමයි කියන්නේ. අනුර කුමාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නෑ.

අනිත් පැත්තෙන් සජබ නායකතුමා පොරොන්දු දීගෙන දීගෙන යනවා. පොරොන්දු දෙන්න සල්ලි තියෙනවද? සල්ලි නෑ. මේ රටේ ආර්ථිකය හදන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා හැර වෙනත් ක්‍රමයකින් සල්ලි හොයන්න බෑ. සල්ලි ගස්වලින් කඩන්නත් බෑ. මැජික්වලින් හොයන්නත් බෑ. ආර්ථික වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් හදන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවල කලාකරුවෙක් ගෙනල්ලා සින්දුවක් කීවාම, නිළියක් ගෙනල්ලා සාහිත්‍ය කතාවක් කීවාම ලොකු වැඩක් කියලා හිතනවා. ළඟදී වේදිකාවේ කියනවා කාන්තාවෝ සීයයි. පියයුරු දෙසීයයි කියලා. මේ මොනවද කියන්නේ. කුණුහරුප කියන්නේ. ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියනවා. පියයුරු පෙන්නගෙන කොළඹ ඉඳන් ගාල්ලට ඇවිදින්න ඕනේ කියනවා. මේවා නෙමේ වැඩ. රට ගොඩගන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නයි ඕනේ.

සජබ කට්ටිය මොනවද කියන්නේ අපි ආවම දෙනවලු. තියෙනවා නම් අපිත් දෙනවනේ. දෙන්න ඕන අයට දෙන්න ඕනේ. නුසුදුසු අයට දීලා හරියන්නේ නෑ. සුදුසු අයට දෙන්න ඕනේ. එහෙම වුණොත් රටේ ආර්ථිකය හදන්න පුළුවන්. ඉස්සරහට රට ගෙන යන්නේ කොහොමද කියන එක තමා අපේ සන්ධානයේ ප්‍රධාන අභියෝගය. මාර්තු මාසයේදී මේ රටේ දැවැන්තම සන්ධානය ගොඩනැඟෙනවා. වාමාංශික, ප්‍රගතිශීලී සියලුම ජනතාවට මේ සන්ධානය වටා ඒකරාශී වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපිත් එක්ක එකතු වෙන්න ඉන්න ශ්‍රීලනිප, පොදු ජන පෙරමුණ සහ සජබ පාක්ෂිකයන්ට කියනවා අපි වටා ඒකරාශී වෙන්න කියලා. බොරු දේශපාලන පොරොන්දු නෙමේ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරනවා.”

අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා

“මීට මාසෙකට කලින් අපි ජා ඇළදී රැස්වීමක් කළා. අද ජා ඇළ වගේ දෙගුණයක් හයිඩ් පිටියට ආවා. වෘත්තිකයන්, උගතුන්, බුද්ධිමතුන්, ගරුතර මහා සංඝරත්නය වගේ මහා පිරිසක් අපි සමඟ ඉන්නවා. මම 1991දී කෝට්ටේ නගර සභාවෙන් දේශපාලනයට ආවේ. 2000 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. දේශපාලනයෙන් නිල නිවාසයක් ගෙන නෑ. අද මේ වේදිකාව තරුණ අදහස්වලට, ඔවුන්ගේ අදහස් කියන්න ඉඩ දී තියෙනවා. දේශපාලන බලවේග හදන්න අවුරුදු ගණන් ගත කරන්න ඕනෙ නෑ. 2022 අප්‍රේල් වෙනකොට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. ඒකෙන් වුණේ දේශද්‍රෝහී බලවේග ඔළුව උස්සපු එක. අපට ඉතිහාසය හොඳට මතකයි. 1971 තරුණ තරුණියෝ 12,000ක් මැරුවා. කැලණිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල එදා වධකාගාර වෙලා තිබුණා. තවත් පැත්තකින් 88,89 දී මහාධිකරණය තුම්මුල්ලට ගෙනාවා. එක තුණ්ඩු කෑල්ලෙන් රාජ්‍ය ආයතන වහල දැම්මා. ඒ එක්කම ප්‍රභාකරන්ගේ භීෂණය පැතිරුණා. 2009දී එය අවසන් වුණා.

අපි දවසට පැය 16ක් විතර වැඩ කරනවා. අපි මේ රට වෙනුවෙන් කැප කිරීම් කර තියෙනවා. අපි හැමදාම අපේ වගකීම් ඉටු කර තියෙනවා. අපි ජනතාවට කියනවා පීලි පන්නගන්න එපා කියලා. ඉතාම පරිස්සමින්, බුද්ධිමත්ව රට ඉදිරියට ගෙන යා යුතුයි. ඊළඟ රැස්වීමට පාර්ලිමේන්තුවේ ඉන්න නොකැළැල් 50කට වැඩි පිරිසක් පෙළ ගැසී අවසන්. ඒ අනුව රට හැදීමේ වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට අපට පුළුවන්.”

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා

“දරුණුතම ආර්ථික අර්බුදයක් ඇති වූ රට දැන් නිවැරදි දිසාවට යොමු වෙමින් තිබෙනවා. රට භාරගන්න කිසිවකු ඉදිරිපත් වුණේ නෑ. සමගි ජන බලවේගය වගේම ජනතා විමුක්ති පෙරමුණ වගකීම් භාර ගත්තෙ නෑ. නමුත් නව සන්ධානය රට ගොඩනැඟීමේ වගකීම භාරගන්න සූදානම්. රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙළ අපේ නව සන්ධානය සතුව තිබෙනවා. විපක්ෂ නායකතුමා මේ දවස්වල කලබල වෙලා. එතුමට කලබල වෙන්න දෙයක් නෑ. එතුමට මුකුත් කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ සතුව කිසිම වැඩපිළිවෙළක් නෑ.”

නව සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා

“අපි අලුත් සන්ධානයක් හදනකොට විපක්ෂයේ අය විතරක් නෙවෙයි අපේ අයත් හිනා වුණා. නමුත් රටේ කිසිදු දේශපාලන පක්ෂයකට කළ නොහැකි දෙයක් අපි සිදු කළා. පක්ෂයක්, ලාංඡනයක් නැති අපේ අලුත් සන්ධානය රට හමුවේ තැබුවා. අපි දශක ගණනාවක් පුරා වමේ දේශපාලන ධාරාව තුළ බොහෝ දේ කළ අය. අපට පුළුවන් අපේ දේශපාලන ධාරාව එකම තැනකට එකතු කරන්න. අපි නව සන්ධානයක් විදිහට විශාල අභියෝගයක් භාර ගත්තා. අපි කරන්නෙ විසිරිලා ඉන්න රටට ආදරය කරන දැක්මක් ඇති පිරිසක් එකම තැනකට එකතු කරන එක. ඒ මඟින් එක් අරමුණක් කරා යා හැකි නව බලවේගයක් නිර්මාණය කළ හැකියි. අපි හැම දිස්ත්‍රික්කයකම මේ වගේ මහජන රැලි පවත්වනවා. ජනතා විමුක්ති පෙරමුණ හිතාගෙන ඉන්නෙ ඒ ගොල්ලොන්ට විතරයි රැලි පවත්වන්න පුළුවන් කියලා. අනිත් හැමෝම බය වුණා. අපි බය වුණේ නෑ. ”

බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා

“ලාංකීය දේශපාලනයේ තීරණාත්මක බලවේගය අපියි. හොරු නැති, තක්කඩි නැති තීරණාත්මක බලවේගය අපියි. එම නිසා අපි සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරලා වැඩක් නෑ. ඒ අය රටට යහපතක් කළ පිරිසක් නෙමෙයි. ඒ වගේම සජිත් වගේ ළමා කතා කියන ඒ වගේ වැඩ කරන කෙනෙක් ගැනත් කතා කර වැඩක් නෑ. අද අපි වමේ බලවේගය එකතු කරගෙන ශක්තිමත් ගමනක් යන්න සූදානම්. අනෙක් සියලු බලවේගවලටත් අපි ආරාධනා කරනවා අප සමඟ එකතු වන්න කියලා. මම ලබන මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින්න බලාපොරොත්තු වෙනවා. දේශපාලන කුහකයන් නිසා මීට පෙර මට ඒ අවස්ථාව නැති වුණා. අපි ඉල්ලා සිටිනවා ශක්තිමත් ආර්ථිකයක් ජයග්‍රාහී අනාගතයක් ඔබට උරුම කල හැකි එකම දේශපාලන කණ්ඩායම අප වන බැවින් අප සමඟ අත්වැල් බැඳ ගන්න කියලා.”


මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT