Saturday, May 10, 2025
Home » පාසල් සිසුන් ලක්ෂයකට ජනපතිගෙන් ශිෂ්‍යත්ව

පාසල් සිසුන් ලක්ෂයකට ජනපතිගෙන් ශිෂ්‍යත්ව

- මානව සම්පත වැඩිදියුණු කිරීම අරමුණයි

by sachintha
February 26, 2024 1:03 am 0 comment

පාසල් දස දහසකට අධික සංඛ්‍යාවක අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් ශිෂ්‍යත්ව දීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 360ක ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ සංකල්පය මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබා දීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබා දීමට “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත. මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් වාර්ෂිකව මෙම ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත වැඩසටහන සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන

වෙන් කර තිබේ. වර්තමානයේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභී පවුල්වල දරුවන් මුහුණ දෙන පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් සපයා ගැනීම මෙන්ම ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වැනි කටයුතුවල දුෂ්කරතාවන් සැලකිල්ලට ගනිමින් ඒ සඳහා යම් අස්වැසිල්ලක් සැලසීම මෙම වැඩසටහනේ අරමුණයි. සෑම පාසලකම සිටින ඉතා අවම පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසු දරුවන් තෝරාගෙන එම දරුවන් සඳහා පහසුකම් සැලසීම මගින් රටේ දරුවන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමත්, එමඟින් රටේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවයි.

ඒ අනුව මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ මීට අදාළ සියලු තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ ඉදිරි දින කිහිපයේ දී දැනුම් දීමට නියමිතය.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT