Saturday, May 10, 2025
Home » බොහෝමයක් පිළිකා නිට්ටාවටම සුව කළ හැකියි විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන

බොහෝමයක් පිළිකා නිට්ටාවටම සුව කළ හැකියි විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන

by sachintha
February 26, 2024 2:54 am 0 comment

දවසකට අලුත් පිළිකා රෝගීන් 106ක් වාර්තා වෙලා තියෙනවා

ලියුකේමියා පිළිකාව දරුවන්ට වැලඳෙන ප්‍රතිශතය වැඩියි

තරබාරුව පියයුරු පිළිකාවලට එක් හේතුවක්

ජංගම දුරකතන පාවිච්චියෙන් පිළිකා හැදෙනවා කියලා හඳුනාගෙන නෑ

වර්තමානයේ පිළිකා රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබේ.

එම තත්ත්වය සුලභ වීමට බලපා ඇති හේතු මොනවාද යන්න දැනගැනීම සඳහා මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා සහ ඇටමිදුලු බද්ධය පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සමඟ කළ සංවාදයකි මේ.

l පසුගිය වසරේදී පිළිකා රෝගීන් කොපමණ ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙනවාද?

ජාතික පිළිකා මර්දන වැඩසටහන මඟින් අපිට ලබා දුන් අවසාන දත්ත තිබෙන්නෙ 2021 වර්ෂය සම්බන්ධවයි. ශ්‍රී ලංකාවේ 2021 වසරේ අලුතින් පිළිකා රෝගීන් 37,753 දෙනෙක් වාර්තා වෙලා තිබෙනවා. ඒ අතරින් 1000ක් පමණ දරුවන් වීම විශේෂයි. (අවුරුදු 19 ට අඩු පිරිස තමයි මෙහිදී අපි දරුවන් කියලා හඳුන්වන්නෙ) දළ වශයෙන් දවසකට අලුත් රෝගීන් 106 ක් වාර්තා වෙලා තිබෙනවා.

l වැඩිපුරම වාර්තා වන්නේ කුමන ඛාණ්ඩවලට අයත් පිළිකා රෝගීන්ද?

වැඩිපුර හඳුනා ගන්නට ලැබෙන පිළිකා ගැහැනු සහ පිරිමි පාර්ශ්වයන්ට එකිනෙක වෙනස් වෙනවා. පිරිමි පාර්ශ්වයේ වැඩිපුරම හඳුනා ගන්නෙ මුඛ පිළිකායි. දෙවැනි තැන ගන්නෙ පෙණහලු පිළිකා. තුන් වැනි තැන බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිතව. හතර වැනියට ගලනාලයේ පිළිකා. පස් වැනි ස්ථානය පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා. මේ පිළිකා වර්ග පුරුෂ පාර්ශ්වයේ දක්නට ලැබෙන මුල්ම පිළිකා වර්ග ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කාන්තා පාර්ශ්වයේ පළමු තැන සිට පස්වැනි තැනට එන තෙක් පිළිවෙළින් පියයුරු පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, බඩවැල් හා ගුද මාර්ගයේ පිළිකා, ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා, ගැබ් ගෙල පිළිකා ප්‍රධාන තැනක් ගන්නවා. අලුතින් රෝග විනිශ්චය වන රෝගීන්ගෙන් 27% ක්ම පියයුරු පිළිකා රෝගීන් වීමද විශේෂයි. ඒ කියන්නෙ හතරෙන් එකකට වඩා ප්‍රතිශතයක්. පිළිකාවලින් සිදු වන මරණ ප්‍රතිශතයේ අවසාන දත්ත 2019 වසරේ දත්ත තමයි අපිට තියන්නෙ. දළ වශයෙන් මරණ 16,000ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ කියන්නෙ ශ්‍රී ලංකාවේ දවසකට සිදු වන මරණවලින් හයෙන් එකක් පිළිකා නිසා සිදු වන මරණ විදියට හඳුන්වන්න පුළුවන්.

l පිළිකා රෝගීන් දිනෙන් දින වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?

අපේ රටේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙම පළවෙනි හේතුව තමයි වයස්ගත වන ජනගහනයක් සිටීම. ජනගහනය වයස්ගත වන විට පිළිකා වැලඳීමේ අවදානම වැඩි වෙනවා. ඒකට එක හේතුවක් තමයි, අපේ ශරීරයේ කුමන හෝ ජාන වෙනස් වීමක් වන විට ඒක නිවැරදි කර ගන්න අපේ ශරීරයෙන්ම කටයුතු කරන ක්‍රමයක් තියනවා. වයසට යනකොට අපේ සෛල පරණ වෙනවා වගේම වෙනස් වන ජාන නිවැරදි කරන්න තිබෙන ඉඩකඩත් දුර්වල වෙනවා. එතකොට පිළිකා ඇති වෙන්න තිබෙන ඉඩකඩ වැඩි වෙනවා. වයසට යනකොට ගොඩක් පිළිකා වැලඳෙන්න තිබෙන අවදානම වැඩි වෙන්න තිබෙන හේතුව එයයි. ඒ වගේම මුල් අවස්ථාවේදීම පිළිකා හඳුනා ගැනීමත් වර්තමානය වන විට වැඩි වෙලා තිබෙනවා. එමෙන්ම රෝගීන් අවධානයෙන් සිටීම සහ ඔවුන්ගේ දැනුවත්භාවයත් වැඩියි. ඉස්සර අවුරුදු 50 – 60 දී වගේ හඳුනා ගත්ත රෝග දැන් අවුරුදු 25න් හඳුනා ගන්නවා වෙන්න පුළුවන්. එතකොට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. අනිත් කාරණය තමයි, පිළිකාකාරකවලට නිරාවරණය වීම වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම දුම් බීම, මත්පැන් පානය, ඩීසල් දුම්, තීන්ත වගේ දේවලුත් පිළිකා සඳහා හඳුනා ගත්ත සාධක ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම හඳුනා ගත්තෙ නැති සාධකත් ඕන තරම් තියනවා හඳුනා ගත්ත සාධකවලට වැඩිය. ඒවට අපි මොනවද කියලා හේතු දන්නෙ නැහැ. මුඛ පිළිකා වගේ දේවල් අපේ රටේ වැඩියි. ඒකට එක හේතුවක් තමයි දුම්වැටි සහ බුලත් විට භාවිත කිරීම. ඒ වගේම ලියුකේමියාව වගේ පිළිකා දරුවන්ට වැලඳෙන ප්‍රතිශතය වැඩියි. සමහර පිළිකා වර්ග තියනවා දරුවන්ට හැදෙන්නෙම නැහැ. දරුවන්ට ජංගම දුරකතන පාවිච්චි කරනකොට පිළිකා තත්ත්වයන් ඇති වෙනවා කියලා විවිධ මත තියනවා. නමුත් දත්ත අනුව එහෙම කිසිම තොරතුරක් නැහැ. වැඩිහිටියන්ට වැලඳෙන පිළිකාවලින් තුනෙන් එකක්ම වළක්වා ගන්න පුළුවන්. අනිත් තුනෙන් දෙක වළක්වා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි පොදුවේ බැලුවම ඒවා වළක්වා ගන්න නම් පිළිකාකාරකවලට නිරාවරණය නොවී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට යාමයි සුදුසු වෙන්නෙ.

l තරබාරු සිරුරකට පිළිකා අවදානම වැඩිද?

ඔව්, පියයුරු පිළිකාවලටත් තරබාරු බව එක හේතුවක් වෙනවා. වැඩිහිටියන්ට වැලඳෙන පිළිකාවලින් තුනෙන් එකක් වළක්වාගත හැකි පිළිකායි. එක සාධකයක් තමයි තරබාරු බව අවම කර ගැනීම. තරබාරු බව අඩු කර ගන්න නම් අපි ව්‍යායාම් වගේ දේවල් වැඩි කර ගන්න ඕනෙ. එහෙම කරන එක සමහර පිළිකා වර්ග අඩු කර ගන්න හේතුවක් වෙනවා. බඩවැල් ආශ්‍රිත පිළිකා, පියයුරු පිළිකා, ගර්භාශයේ පිළිකා, ගලනාලයේ පිළිකා වකුගඩු සහ අග්න්‍යාශයේ පිළිකාවලට තරබාරු බව හේතුවක් වෙන්න පුළුවන්.

l දියුණු රටවල පිළිකා හේතුවෙන් සිදු වන මරණ අනුපාතිකය අඩු වීමට බලපාන හේතු මොනවාද?

හේතු කිහිපයන් තියෙන්න පුළුවන්. එකක් ලෙස එයාලගෙ පිළිකා ඖෂධවල සහ පිළිකා රෝගවලට දෙන ප්‍රතිකාරවල තිබෙන උසස් බව හඳුන්වන්න පුළුවන්. අපේ රටවල්වලට වඩා පිළිකා ප්‍රතිකාර ක්‍රම හේතු වෙන්න පුළුවන්. නමුත් අපි (ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය) පුළුවන් තරම් උත්සාහ කරන්නෙ මිනිස්සුන්ට අලුත් සහ ලෝකයේ තිබෙන අනෙක් පිළිකා ප්‍රතිකාර ක්‍රමත් සමඟ සංසන්දනය කරලා හොඳ ප්‍රතිකාර ක්‍රම අපේ රටටත් ගේන්න. සමහර ඖෂධවල ඉතාමත්ම මිල වැඩියි. නමුත් මිල වැඩි වූ පමණින්ම ඒ දේවල් හොඳ ඒවා නෙමෙයි. මිල ගොඩක් වැඩියි අලුත් බෙහෙත්වල. නමුත් ඒවායින් පිළිකා රෝගියෙකුගේ ජීවිත කාලයට එකතු වන ආයු කාලය බොහොම කෙටියි. ඊට වඩා ගණන් අඩු, අපිට නැති අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග තියෙනවා. එතකොට අපේ උපදෙස වුණේ මිලත් එක්ක සංසන්දනය කරනකොට ලෙඩාට ඒකෙන් කොච්චර වාසියක් වෙනවද කියන එකයි. මිල වගේම ඒ ඖෂධවලින් ලෙඩාට කොච්චර වාසියක් වෙනවද කියන එකත් වැදගත් වෙනවා. ඒ දේවල් සංසන්දනය කරන වෙනම ක්‍රම තියනවා. එහෙම සංසන්දනය කළාට පස්සෙ අඩු මිලකින් වැඩිම වාසියක් වන දේවල් මොනවාද කියලා අපි බලනවා. අත්‍යවශ්‍යම දේවල් නැතුව මිල අධික ඒවා ලංකාවට ගෙන්වන්න බැහැ. වෙන රටවල්වලට සංසන්දනාත්මකව හොඳම බෙහෙත් ටික ලංකාවට ගේන්න තමයි අපි උත්සාහ කරන්නෙ. බෙහෙත්වලට වඩා පිළිකාවලට ප්‍රධානතම ප්‍රතිකාරය තමයි රේඩියෝ තෙරෙපි ප්‍රතිකාර ක්‍රමය. අනෙක් රටවල්වලට සාපේක්ෂව අපේ රටේ රේඩියෝ තෙරෙපිවල යම්කිසි පසුබෑමක් තියනවා. නමුත් අපේ කලාපවලට සාපේක්ෂව අපේ රටේ ප්‍රතිකාර ක්‍රම හොඳ මට්ටමක තියනවා. ඒ වගේම ප්‍රතිකාරවලින් පසුව ඔවුන්ට ඇති වන සංකූලතා වගේ දේවල් පාලනය කර ගන්න රෝගියාට අනෙක් පාර්ශ්වවලින් ලැබෙන සහයෝගයත් හඳුන්වන්න පුළුවන්. ඒ පහසුකම් අපේ රටට වඩා වෙනත් රටවල්වල වැඩි වෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් රටවල්වල රෝගය කලින් හඳුනා ගැනීමත් මරණ අනුපාතිකය අඩු වීමට හේතුවක් වෙනවා.

l ප්‍රතිකාර ක්‍රම සම්බන්ධව මිනිසුන් අතර පවතින අනවබෝධය සහ විවිධ දුර්මත පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

ඒ සම්බන්ධව නම් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනෙ. මේ වගේ තත්ත්වයක ඉන්න කෙනෙක් ඕනෑම ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඕනෙම කෙනෙක් ඒ දේවල් කරනවා. බටහිර වෛද්‍ය ක්‍රමය හොඳයි, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හොඳ නැහැ කියලා මම කියන්නෙ නැහැ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන මම දන්නෙ නැති නිසා මට ඒක ගැන කතා කරන්න අයිතියක් නැහැ. මට කතා කරන්න පුළුවන් බටහිර වෛද්‍ය ක්‍රමය ගැන විතරයි. එහිදී මොන ඖෂධය ආවත් දෙන්නෙ එක ක්‍රමයකට. ඒක නිකන්ම එක පාරටම රෝගියෙකුට දෙන්නෙ නැහැ. පිළිවෙළක් තියනවා. මුලින්ම අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය කුමන හෝ හේතුවක් නිසා වෙනස් වීමක් සිදු වෙලා පිළිකාවක් එනවා. ජාන වෙනස් වීමක් හෝ ප්‍රතික්‍රියාවල වෙනසක් සිදු වෙනවා. ඒ වෙනස ආපස්සට හරවන්න රසායනිකව අපිට මොකද්ද කරන්න පුළුවන් දේ කියලා රසායනාගාරයක තමයි මුලින්ම ඒ බෙහෙත හදන්නෙ. ඊට පස්සෙ ඒක අපි දීලා බලනවා සතෙකුට. ඊට පස්සෙ ඒක මනුෂ්‍ය ශරීයට ගැළපෙනවද කියලා දීලා බලනවා. ඒක හොඳට වැඩ කරනවා නම්, ඊළඟ පියවරට යනවා. ඔය කියන සායනික ක්‍රමවේද රැසක් සමඟ තමයි ඖෂධයක් එළියට එන්නෙ. වෙනත් මොනවා හෝ ඖෂධ ක්‍රම තිබෙනවා නම්, ඒ ක්‍රමවේදය හරහා යන්න ඕනෙ. හැම පිළිකාවකටම එකම බෙහෙතක් හරියන්නෙ නැහැ. සාර්ථකයි කියා කියූ පමණින් මනුස්සයෙකුට ඖෂධයක් දෙන එක අපරාධයක්. ඒකෙන් මිනිස්සු නොමඟ යැවීමක් තමයි වෙන්නෙ. මේ වගේ දේවල් ගැන මිනිස්සු අවබෝධයෙන් සිටිනවා නම් ගැටලුවක් වෙන්නෙ නැහැ.

l පිළිකාවක් කලින් හඳුනා ගෙන, ප්‍රතිකාර කරලා, පසු විපරම තුළින් නිට්ටාවටම පිළිකාව සුව කළ හැකිද?

බොහෝමයක් පිළිකාවලට ප්‍රතිකාර කරන්න පුළුවන්. සමහර පිළිකා 100%ක්ම සුව කරන්න පුළුවන්. ළමයින්ට හැදෙන ලියුකේමියාව වගේ පිළිකා තත්ත්ව 90% ක්ම නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ලියුකේමියාව ALL කියන තත්ත්වයේදී 30% ක් විතර සුව කරන්න පුළුවන්. AML කියන තත්ත්වයට ආවොත් ඒක භයානකයි. සමහර පිළිකා වර්ග 60% ක් වගේ සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ඒ ප්‍රතිශතයන් පිළිකාවෙන් පිළිකාවට වෙනස් වෙනවා. වෙන රටවල්වල 95% ක් පමණ පුළුවන් වෙනවා. ඒ වගේ නිට්ටාවටම සුව කරන්න පුළුවන් කොටසක් තිබෙනවා. මූලික අවස්ථාවේම ප්‍රතිකාර ක්‍රම පටන් ගත්තොත් පියයුරු පිළිකා වගේ දේවලුත් සුව කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගැබ්ගෙල පිළිකාත් පුළුවන්. ප්‍රධානම ප්‍රතිකාර ක්‍රම දෙක තමයි සැත්කම් සහ රේඩියෝ තෙරපි. කීමෝ තෙරපි නෙමෙයි. කීමෝ තෙරපි වඩාත් වැදගත් වෙන්නෙ දරුවන්ගේ පිළිකාවලට සහ රුධිරගත පිළිකා සඳහායි. ඒ වගේ දේවල්වලට රේඩියෝ තෙරපි භාවිත කරනවා ඉතාමත්ම අඩුයි. ගොඩක් පිළිකා වර්ගවලට ප්‍රතිකාර කළ හැකියි. මුලදිම හඳුනා ගත්තොත් හොඳටම කළ හැකියි. කල් ගියාට පසුව ඒක යම් තරමක් අමාරුයි. බහුතරයක් සිටිනවා 100% ක් සුව වුණු රෝගීන් සහ එහෙමත් නැත්නම් ලෙඩේ සම්පූර්ණයෙන්ම හොඳින් ප්‍රතිකාර කළ හැකි මට්ටමේ සහ පාලනය කළ හැකි මට්ටමේ සිටින සාමාන්‍ය දෛනික ජීවිතය ගත කරන පිරිස්. ඒ ත්ත්ත්වය දිගටම පවතින සැලකිය යුතු කොටසක්ද සිටිනවා.

නෙත්මි පූජනී රත්නායක

ඡායාරූපය – රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT