Home » දෙවැනි කතානාද චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ පළමු ශ්‍රී ලාංකිකයා – ශාන්ති කුමාර් සෙනෙවිරත්න

දෙවැනි කතානාද චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ පළමු ශ්‍රී ලාංකිකයා – ශාන්ති කුමාර් සෙනෙවිරත්න

by sachintha
February 26, 2024 1:00 am 0 comment

පෙබරවාරි 22 දිනට යෙදී තිබුණු ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ 57 වැනි ගුණ සමරුව වෙනුවෙනි.

“ශාන්ත මේ රාත්‍රියේ

චන්ද්‍රා කාන්තී දේ ආලෝකේ

ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ”

“නයනා වැනී සුදෝ

හෝ ඔබේ – මා”

“ඇයි කරේ යමෙක් ආලේ

මේ ලෝකේ මා මායාකාරී”

“භවේ භීත හැර දේශිත තිලෝනා

ධර්මෙ රසේ”

සිංහල සිනමා ගීතාවලියේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණ මෙන්ම එවකට ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා පසුව අමරදේව චිත්‍රපට පසුබිම් ගායකයකු මෙන්ම චිත්‍රපට නළුවකු, චිත්‍රපට සම සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද හඳුන්වා දුන් චිත්‍රපටය “අශෝකමාලා”ය. 1947 අප්‍රේල් 09 වැනි දා ප්‍රදර්ශනය වූ මේ චිත්‍රපටයේ කතා පිටපත රචනා කොට එහි ප්‍රධාන චරිතය වූ සාලිය කුමරුගේ චරිතය රඟපෑවේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නය.

මෙරට ප්‍රදර්ශනය වූ දෙවෙනි කතානාද චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රථම ලාංකිකයා වූ බර්ටි සෙනෙවිරත්න හෙවත් ශාන්ති කුමාර් සෙනෙවිරත්න නර්තන අධ්‍යක්ෂණය, තිර නාටක රචනය, රංගනය යනාදී ක්ෂේත්‍ර රාශියක ප්‍රතිභාව පළ කළ කලාකරුවෙකි. කුරුණෑගල ‘ලිහිණිගිරි’ වලව්වේ 1916 වසරේ උපන් ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලබා නර්තනය ඉගෙනීමේ අභිලාෂයෙන් භාරතයට ගියේය. එහි දී සර්කස් කණ්ඩායමක විකට ශිල්පියකු ලෙස දස්කම් පෑ ඔහු උදය ශංකර්, තුන්ජිනී නායර් යටතේ නර්තනය හදාළේය.

යළි ශ්‍රී ලංකාවට පැමිණි හේ සිය නම “ශාන්ති කුමාර්” යනුවෙන් වෙනස් කර ගත්තේය. මේ වන විට ‘අශෝකමාලා’ චිත්‍රපට කතාව ඉංග්‍රීසි බසින් ලියා තිබුණි. ප්ලාස්ටික් ව්‍යාපාරයක් හා ඉස්තරම්ම මුද්‍රණාලයක හිමිකරු වූ ඇස්. ඇම්. නායගම් සිංහල චිත්‍රපටයක් නිපදවීමට අදහස්කොට “චිත්‍ර කලා” මුවිටෝන් නමින් චිත්‍රපටි නිෂ්පාදනාගාරයක අධිපතිත්ව දැරූ නායගම් ශාන්ති කුමාර්, කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා, සංගීතඥ යූ.ඩී.පෙරේරාගේ සහාය ඇතිව සිංහල චිත්‍රපටියක් නිපදවීමට කටයුතු පිළියෙල කළේය. ශාන්ති කුමාර් එම සමාගමේ චිත්‍රපටි අධ්‍යක්ෂ හැටියට පත්කර ගෙන තිබුණේය. මෙම සමාගම “ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය” මුලින්ම චිත්‍රපටිගත කිරීමට අදහස් කළ නමුත්, ඊට විශාල මුදලක් අවශ්‍ය බව පෙනුණු හෙයින් එම අදහස අත්හැර දමා “වීරකෝට්” නම් ඓතිහාසික නවකතාව චිත්‍රපටිගත කිරීමට ගියේය. ඉන්පසු චිත්‍ර කලා සමාගම “සාලිය – අශෝකමාලා” චිත්‍රපටය, චිත්‍රපටිගත කිරීමට අදහස් කර, එම චිත්‍රපට කතාව එහි කතාන්දරය, විනිශ්චය මණ්ඩලයකින් තෝරා, ජයග්‍රාහක කතාව ලියූ ලේඛකයාට රුපියල් 500ක ත්‍යාගයක් දෙන බවට ප්‍රවෘත්ති පත්‍ර මඟින් දැන්වීම් ප්‍රසිද්ධ කරන ලදි.

සිංහල කතාන්දර අතුරින් ඉතා හොඳ කතාව වශයෙන් තේරුණු කතාවට රුපියල් 500ක ත්‍යාගය ලැබූවද එය ලබා ගැනීමට අධ්‍යක්ෂ ශාන්ති කුමාර් මනාප වූයේ නැත. මේ අතර චිත්‍රපටි චිත්‍ර කලා සමාගම එකල දීප්තිමත් නාට්‍ය තාරකාවන් වශයෙන් වැජඹුණු එඩී ජයමාන්න සහ රුක්මණී දේවිය රඟ දැක් වූ බී. ඒ. ඩබ්ලිව්. ගේ ශාන්ති කුමාර් බයස්කෝප් රාජයා වූ ගාඩිනර් මහතා හමුවීමේ සිද්ධිය මහා චිත්‍රපටි කර්මාන්තයකට අත්තිවාරමක් දැමීමේ පෙරනිමිත්තක් විය. “චිත්‍ර කලා” සමාගම, “කඩවුණු පොරොන්දුව” චිත්‍රපටිගත කිරීමට ගිවිසුම් අස්සන් කර තිබූ එවැනි අවදියක දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන බයස්කෝප් ප්‍රදර්ශක සමාගමට “අ‍ශෝකමාලා” අත්හැර දැමිය නොහැකි විය. ශාන්තිගේ කතාව ගැන අතිශයින් පැහැදුණු සර් ගාඩිනර් මහතා තම අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කර, කතාව චිත්‍රපටිගත කිරීම සඳහා ශාන්ති සමඟ ගිවිසුමකට අත්සන් කළේය.

ප්‍රථම කතානාද චිත්‍රපටය නිපදවීමට නායගම් දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂ ජ්‍යෝතිෂ් සිංහ ප්‍රමුඛ ජයමාන්න පිරිස සමඟ තරග කිරීමේ අභියෝගය ජය ගැනීම ශාන්ති කුමාර්ට පැවැරිණි. දකුණු ඉන්දියාවේ කොයිම්බතුර් සෙන්ට්‍රල් චිත්‍රාගාරයට ඔහු ගියේ “අශෝකමාලා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් එහි සම අධ්‍යක්ෂ (ටී.ආර්. ගෝපු සමඟිනි. සිනමා ක්ෂේත්‍රයට කලාකරුවන් රාශියක් (එම්ලින් දිඹුලාන, මයිකල් සන්නස් ලියනගේ, හර්බි සෙනෙවිරත්න, ඔස්ටින් අබේසේකර, දොන් එඩ්වින්, “කඩවුණු පොරොන්දුව” නම් වේදිකා නාට්‍යය චිත්‍රපටිගත කිරීමට සාකච්ඡා පවත්වාගෙන යන බව තේරුම්ගත් ශාන්ති කුමාර් එම සමාගමෙන් ඉවත් විය.

මේ තොරතුරු හෙළි වන්නේ 1925 වසරේ කොටුවේ පාසන්ස් පාරේ රේල් පාර අයිනේ පිහිටි ඇම්පයර් සිනමා ශාලාවේ ටකරන් මඩුවක තිරගත වූ චාලි චැප්ලින් රඟපෑ “ගෝල්ඩ් රෂ්” ඇතුළු නිශ්ශබ්ද චිත්‍රපටි නැරඹූ අත්තිඩියේ ඩී.වී.සෙනෙවිරත්න නම් එවකට දොළොස් හැවිරිදි ළමයාය. පැරණි සිනමාව ගැන අතැඹුලක් සේ දැන සිටි නිශ්ශබ්ද සිනමා යුගයේ පටන් ප්‍රදර්ශනය වුණු බටහිර, ඉන්දියානු සහ සිංහල චිත්‍රපටි පිළිබඳ ඉතිහාසය පිඬු කරමින් 1958 වර්ෂයේ ප්‍රකාශයට පත් ඔහු විසින් රචිත “චිත්‍රපටි කලාව” කෘතියෙනි. මේ කෘතියෙන් ශාන්ති කුමාර්ගේ සමීප මිතුරෙකුව සිටි ඩී.වී. විසින් රචිත “චිත්‍රපටි කලාව” කෘතියේ රසවත් තොරතුරු රැසක් හෙළි වෙයි.

ශාන්ති කුමාර් 1946 අගෝස්තු මාසයේ එක් රාත්‍රියක 7ට පමණ ටවර් සිනමා ශාලාවට ඇතුළු වූයේය.

“එන්න ශාන්ති! වාඩි වෙන්න” යි මම ඔහුව කන්තෝරු කාමරයට කැඳවාගෙන ගොස් අසුනක් දුනිමි.

“කෝ ලොක්කා” ශාන්ති ඇසුවේය. ශාන්ති ලොක්කා යැයි කීවේ ටවර් සිනමාහලේ කළමනාකාර අධ්‍යක්ෂ ඇප්.සී. පැරැක් මහතාටය. 1907 සිට 1947 යන කාලය තුළ ශ්‍රී ලංකාවේ බයස්කෝප් ප්‍රදර්ශන කටයුතු මෙහෙය වූ ප්‍රදර්ශකයා විය.

“ලොක්කා ඇතුළේ බයස්කෝප් බලනවා! වුවමනාවක්දැයි” මම විමසීමි. ශාන්ති මට කාරණය නොවළහා විස්තර කරමින් ඔහු කිහිලි ගන්නාගෙන ආ චිත්‍රපටි කතාව මට පෙන්වූයේය. එම කතාව ටිකක් දුර කියවාගෙන යන විට පැරැක් මහතා සිනමා හලෙන් කන්තෝරුවට ආවේය. ශාන්ති තමාට වී තිබෙන අකරතැබ්බය පැරැක් මහතාට විස්තර කළ පසු අපි ඔහුගේ චිත්‍රපටි කතාව ගැන සාකච්ඡා කෙළෙමු. පසුදින ඔහු ශාන්ති කුමාර්ව සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂ සර් චිත්තම්පලම් ඒ.ගාඩිනර් මහතා වෙත කැටුව යාමට පොරොන්දු විය. ශාන්ති කුමාර් මට පසුව විස්තර කළ අන්දමට ඒ සම්භාවනීය සිනමා ප්‍රදර්ශකයාගේ සහායෙන් පීටර් සිරිවර්ධන, ශ්‍රීමතී කරුණාදේවි හඳුන්වා දුන් ශාන්ති සිංහල සිනමා ගීතාවලියේ ප්‍රථම ස්වතන්ත්‍ර තනු නිර්මාණය කිරීමට ඉන්දියාවේ බැංගලෝරයේ උපන් පසුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලැබූ මොහොමඩ් ගවුස් මාස්ටර් තෝරා ගත්තේය. සියලු චිත්‍රපට ගීත රචනය සඳහා ඩී. ටී. ප්‍රනාන්දු (විදුහල්පතිවරයෙකි) තෝරාගත් ශාන්ති, ඇල්බට් පෙරේරා (පසුව අමරදේව), මොහිදීන් බෙග් කුලුඳුල් චිත්‍රපට පසුබිම් ගායකයන් ලෙස දුන්නේ මේ දෙදෙනා සමඟ ගවුස් මාස්ටර් ද සිනමා නළුවන් ලෙස දොරට වඩම්මවමිනි. ඉහත සඳහන් වූයේ ඇල්බට්, බෙග් හා භාරතීය ගායිකා භාග්‍යරතී ගැයූ ගීතයන්ය.

ශාන්ති ඉංග්‍රීසි බසින් ලියූ “අශෝකමාලා” කතා පිටපත සිංහලයට පරිවර්තනය කොට, දෙබස් රචනාකොට, චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය කරමින් විපුල නම් දුෂ්ටයා ලෙස දුෂ්ට චරිතය රඟපෑවේ මයිකල් සන්නස් ලියනගේය. කෙසේ වුවද මුල්ම සිංහල කතානාද චිත්‍රපටය බිහි කිරීමේ තරගයෙන් ශාන්ති පරාජයට පත් විය.

අශෝකමාලා ප්‍රදර්ශනය වූ කාලයේ ශාන්තිට සිංහල පුවත්පත්වලින් ලැබුණේ ගැරහුම්ය. “දිනමිණ” ප්‍රධාන කර්තෘව සිටි මාර්ටින් වික්‍රමසිංහ “මයුරපාද” නමින් ලියූ චිත්‍රපට විචාර දෙක තුනක්ම ලියා චිත්‍රපටයට පහර දුන්නේය.

“සිංහල බලය” පුවත්පතට කවියෙන් චිත්‍රපට විචාරයක් ලියූ යසපාල සමරනායක කවියා එය අවසන් කර තිබුණේ මෙසේය.

සාලිය කුමරුනි මාලා එකමුතු ය

විපුලත් කිරා රඟපෑ හැටි සුදු මුතු ය

සංගීතයේ කොටස ගැන පැසසිය යුතු ය

ඉවසිය නොහැක ඉතිහාසය කම්මුතු ය

කුමාර් සෙනෙවිරත්න විසින් අශෝකමාලා (1947) එදා රෑ (1953) ජීවිත සටන (1957) සංසාරේ (1962) කළ කළ දේ පල පල දේ (1964) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. ඔහුගේ චිත්‍රපට ජීවිතයේ සෙවණැල්ල වූ බාල සොහොයුරු හර්බි සෙනෙවිරත්නයන් සිනමා නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූයේය.

1967 පෙබරවාරි 22 වැනිදා ශාන්ති කුමාර් සෙනෙවිරත්න ජීවිතයෙන් මෙන්ම සදා ආදරය කළ සිනමාවෙන් ද සමු ගත්තේය.

ඒ.ඩී. රන්ජිත් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT