Saturday, May 10, 2025
Home » කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා කඩිනම් කිරීමට ඉහළ පෙළේ කමිටුවක්

කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා කඩිනම් කිරීමට ඉහළ පෙළේ කමිටුවක්

by sachintha
February 26, 2024 1:04 am 0 comment

කැබිනට් අනුමැතිය හිමි වූ අමාත්‍යාංශයට අදාළ කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉහළ පෙළේ කමිටුවක් පත් කරයි.

අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා අදාළ කමිටුවේ සභාපතිවරයාය.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු තවත් නිලධාරීන් 4 දෙනෙක් එහි සෙසු සාමාජිකයෝ වෙති. සති දෙකකට වරක් රැස්වී කැබිනට් යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර තමන්ට වාර්තාවක් දෙන ලෙස ද ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවට පසුගියදා (22) උපදෙස් දුන්නේය.

කැබිනට් පත්‍රිකා ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීමේ වගකීම ද මේ කමිටුවට පැවරෙන බව ඇමැතිවරයා එහිදී කීවේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් මණ්ඩල පත්‍රිකාවල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමට පැවති විශේෂ සාකච්ඡාවකදීය.

මෙහිදී අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවල පවතින ගැටලු හා ඒවා විසඳීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“නිවැරැදි තොරතුරු හා සියලු පසුබිම් වාර්තා පදනම් කර ගනිමින් කැබිනට් පත්‍රිකා සැකසීම අවශ්‍යයි. ඇතැම් සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් කරුණු නිසි ලෙස සොයා නොබලා මට වැරදි තොරතුරු වාර්තා කරනවා. මා නොමඟ යැවීම සම්බන්ධයෙන් එවැනි නිලධාරීන්ට විරුද්ධව ඉදිරියේදී විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නවා.

මා විෂය භාර ඇමැතිවරයා ලෙස මේ අමාත්‍යාංශය භාර ගත් දින සිට 2023 වසර අවසානය තෙක් ඇමැති මණ්ඩල අනුමැතියට කැබිනට් පත්‍රිකා 190ක් ඉදිරිපත් කර තිබෙනවා. එම කැබිනට් පත්‍රිකා සියල්ලටම ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වුණා.”

මෙහිදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. එස්. සත්‍යානන්ද මහතා ද අදහස් දැක්වුවේය.

මේ අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්ෂකවරුන්, සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT