Sunday, May 11, 2025
Home » ගංගාරාම නවම් මහා පෙරහර අද විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත් වෙලා
වසර 45කට පෙර ආරම්භ කළ

ගංගාරාම නවම් මහා පෙරහර අද විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත් වෙලා

-නවම් මහා පෙරහර සමාරම්භයේදී ජනපති රනිල් කියයි

by sachintha
February 26, 2024 1:05 am 0 comment

 

වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත් කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවට පසුගියදා (23) එක්වෙමිනි.

කොළඹ නවම් මහා පෙරහර 45 වැනි වරටත් පසුගියදා (23) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහරේ සමාරම්භය සනිටුහන් කළේය.

ගංගාරාම විහාරස්ථානයේ ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

පෙරහර සංස්කෘතික මංගල්‍යයට නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් නරඹන ජනතාවට නවමු අත්දැකීමක් එක් කිරීමට මෙවර ගංගාරාම විහාරස්ථානය කටයුතු කිරීම අගය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

ගංගාරාම විහාරස්ථානය විසින් මෙවර කොළඹ නවම් පෙරහර පවත්වනු ලබන්නේ හතළිස් පස්වැනි වරටයි. ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා වෙතින් ගංගාරාම පොඩි හාමුදුරුවන් කළ ඉල්ලීමකට අනුව මෙම පෙරහර ආරම්භ කරනු ලැබුවා. ඉන්පසුව රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙම පෙරහර මංගල්‍යය ඉදිරියට කරගෙන එනු ලැබුවා.

මෙම වසර 45ක කාලය සැලකීමේදී අද වන විට විශාල තාක්ෂණික දියුණුවක් ඇති වී තිබෙනවා. ඩිජිටල් වෙබ් අඩවිය ඔස්සේ පෙරහර නැරඹීමටත් මේ වන විට අවස්ථාව සැලසී තිබෙනවා.

රජයේ සහ රාජ්‍ය නොවන ආයතන විශාල සංඛ්‍යාවකගේ උදවු උපකාර මෙම පෙරහර මංගල්‍යයට හිමි වෙනවා. මීට වසර හතළිස් පහකට පෙර තිබුණු පෙරහර සහ අද පෙරහර සංසන්දනය කර බැලූ විට අද පෙරහරේ තාක්ෂණික දියුණුව ඉතා ඉහළයි. බැතිමතුන්ගේ ශක්තිය එමඟින් පෙන්නුම් කරනවා. බැතිමතුන්ගේ එකතු වීම මත ගොඩනැඟුණු මෙම පෙරහර අද විචිත්‍රවත් වී තිබෙනවා. මේ සඳහා උදවු උපකාර කළ සියලු දෙනාටම මා ස්තූතිවන්ත වෙනවා.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය,

සුදත් මලවීර සහ නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT