Sunday, May 11, 2025
Home » පරිසර හිතකාමී PCB කළමනාකරණ වැඩමුළුව අවසන්

පරිසර හිතකාමී PCB කළමනාකරණ වැඩමුළුව අවසන්

by sachintha
February 26, 2024 12:44 am 0 comment

UNIDO – එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ව්‍යාපෘති කළමණාකාරිනී ආචාර්ය කාමෙලා සෙන්ටෙනො

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංර්වර්ධන සංවිධානය (UNIDO) හා ගෝලීය පරිසර පහසුකම (gef) සමඟ එක්ව පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකාවේ උපයෝගිතා ක්ෂේත්‍රය තුළ පරිසර හිතකාමී ලෙස පොලි ක්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) කළමනාකරණය පිළිබඳ අවසන් වැඩමුළුව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ව්‍යාපෘති කළමනාකාරිණී ආචාර්ය කාමෙලා සෙන්ටෙනො (Dr. Carmela Centeno) මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.

දිගුකල් පවත්නා කාබනික දූෂකයක් ලෙසත් ඉහළම පෙළේ පිළිකාකාරකයක් ලෙසත් හඳුනාගෙන ඇති පොලික් ක්ලෝරිනේටඩ් බයි හීනයිල් (PCB) මඟින් පරිසරයට හා මිනිසා ඇතුළු සත්ත්ව ප්‍රජාවගේ සෞඛ්‍යයට වන අයහපත් බලපෑම සැලකිල්ලට ගනිමින් දිගුකල් පවත්නා කාබනික දූෂක පිළිබඳ වූ ස්ටොක් හෝම් සම්මුතිය විසින් පොලි ක්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, PCB ලෝකයෙන් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු සෑම රටක්ම කටයුතු කරමින් පවතී. ඒ අනුව වසර 2028 වන විට ලෝකයේ සෑම රටක්ම PCB භාවිතය අවසන් කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාව PCB භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා පරිසර අමාත්‍යාංශය සක්‍රියව ක්‍රියාත්මක වන අතර මේ සඳහා ගෝලීය පරිසර පහසුතම (gef) මූල්‍යමය දායකත්වය දක්වන අතර එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) මඟින් තාක්ෂණික සහයෝගය ලබා දෙයි. 2015දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4.725ක් ගෝලීය පරිසර පහසුකම (gef) විසින් ලබාදී ඇත.

මෙම පොලික්ලෝරිනේටඩ් බයි ෆිනයිල් (PCB) කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, කාර්මික තාක්ෂණික ආයතනය හා ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක දායකත්වය ලබාදී ඇත.

මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ B.K. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ අතර මෙම ව්‍යාපෘතිය ලංකාවේ සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය සැපයූ රාජ්‍ය ආයතන ඇගැයීමකට ද ලක් කරන ලදි.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ජාතික අධ්‍යක්ෂ නවස් රාජාදීන්, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් අබේසිංහ, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මහින්ද වේරහැර, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නිර්මාණී ඉගලහේවාගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT