Home » යුක්තියේ මෙහෙයුම මත් උවදුර පමණක් නොව සෑම අපරාධයක්ම වැළැක්වීමේ වැඩපිළිවෙළක් -මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමි

යුක්තියේ මෙහෙයුම මත් උවදුර පමණක් නොව සෑම අපරාධයක්ම වැළැක්වීමේ වැඩපිළිවෙළක් -මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමි

by sachintha
February 26, 2024 1:10 am 0 comment

රට බේරා ගැනීමට එක්විය යුතුම මොහොතක් –ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මතරතන හිමි

යුක්තියේ මෙහෙයුම වැඩපිළිවෙළ රටට යහපතක් එක් කරන වැඩපිළිවෙළක් බවත්, ඊට විරෝධ පළ කරන්නන්ට එරෙහිව දිවි පරදුවට තබා මහා සංඝරත්නය පෙළ ගැසෙන බවත් මහා සංඝරත්නය අවධාරණය කරති.

පොලිස් ඇමැතිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා ඉවත් කරලීමට, මරා දැමීමට සූදානමක් ඇති බවට පසුගියදා බුද්ධි අංශ අනාවරණය කර තිබූ බව පෙන්වා දෙන මහා සංඝරත්නය සැමදාටම රට සහ මාතෘ භූමිය වෙනුවෙන් ඉදිරිපත් වන මහා සංඝරත්නය මේ අවස්ථාවේදීත් පෙළ ගැසෙන බව ද කියා සිටිති.

පොලිස් ඇමැතිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුක්තියේ මෙහෙයුමෙන් මේ වන විටත් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවත්, රුපියල් මිලියන 10,000කට අධික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වූ බවත් කියා සිටි මහා සංඝරත්නය විශාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේශවල සිට මෙරටට රැගෙනවිත් ඇති බවත්, ඊට ස්තූතිවන්ත වන බව ද කියා සිටියේය.

අමරපුර මහා නිකායේ වැඩ බලන මහා නායක නිකපේ චන්ද්‍රජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (23) නාරාහේන්පිට ඇලන් මැතිනියාරාම විහාරස්ථානයට නන් දෙසින් එක් වූ මහා සංඝරත්නය මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

යුක්තියේ මෙහෙයුම මෑත කාලයේ ක්‍රියාත්මක වූ ඉතාමත්ම වැඩදායී මෙහෙයුමක් බවත්, මත් උවදුරින් රට මුදාගැනීම සම්බන්ධයෙන් ජාතත්‍යන්තරයේ පවා ප්‍රසාදයට ලක්ව ඇති බවත් එහිදී මහා සංඝරත්නය අවධාරණය කළේය.

අපේ රටේ මුදල් පිටරට යවා මත්ද්‍රව්‍ය රටට ගෙනැවිත් රට බංකොළොත් භාවයට පත් කරනවා යැයි මෙහිදී අදහස් දැක්වූ කැළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මතරතන හිමියෝ පැවැසූහ.

එම අවස්ථාවට එක් වෙමින් අදහස් දක්වමින් මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියෝ මෙසේ කියා සිටියහ.

“පොලිස් විෂය භාර ඇමැතිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් සමස්ත කාර්ය මණ්ඩලය ගෙන යන මේ වැඩසටහන මහා සංඝරත්නයේ ඉමහත් ආශීර්වාදයට ලක්ව තිබෙනවා. අපේ රටේ ගම් දනව්වලට පවා පැතිර ගොස් ඇති මත් රකුසාගෙන් පාසල් දරුවන් බේරා ගැනීම ඉතාමත් වැදගත් පියවරක් ලෙස සලකනවා. පාසල් පද්ධතියට මත් උවදුර පැමිණියා කියා කියන්නේ රටේ පරිහානියට ළඟා වීමක්. ඒ තත්ත්වයෙන් රට මුදා ගන්නට මේ දෙපළට ශක්තියක් වීම මහා සංඝරත්නය ඇතුළු සමස්ත පූජක පක්ෂයේ වගකීමක්. එය සමස්ත රට වැසියාගේ ද වගකීමක්. මේ රටේ සිදු වන සාපරාධී ක්‍රියාකාරකම්වලට මෙන්ම අකටයුතුකම්වලට ද යුක්තියේ මෙහෙයුම බලපෑම් කර තිබෙනවා. ඒ සියලු දේ වැළැක්වීමට ගත් මහා යෝධ පියවරක් ලෙස මෙය සලකන්න පුළුවන්. සූ සැට බරණින් සැරසුණු තරුණියක් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ගමන් කළ හැකි වාතාවරණයක් මේ රටේ ඉතිහාසය පුරා තිබුණා. ඒ තත්ත්වය මතු උවදුර ඇතුළු සාපරාධී ක්‍රියා නිසා නැතිවී ගොස් තිබෙනවා. මේ නිසා ඇති වූ විවිධ තත්ත්වයන් විවිධ දිශානතීන් කේන්ද්‍ර කර ගනිමින් වෙලාගෙන තිබෙනවා. සෑම අංශයක්ම නියෝජනය වෙමින් මේ උවදුර සඳහා පුද්ගලයන් කේන්ද්‍රගතවී තිබෙනවා. විහාරස්ථානයේ බුදු මැඳුරේ පිත්තල පාත්‍රයක දානය පිළිගැන්වූ පසුව පිත්තල පාත්‍රය අතුරුදන් වෙනවා. කුඩුකාරයෙක් එය අරගෙන ගොස් තිබෙනවා. පිත්තල පිළිම වහන්සේ, පහන් තිර රෙදි පවා කුඩුකාරයන්ගේ ගොදුරු බවට පත් වෙනවා. පන්සලකට ඕනෑම අයකුට ඒමට හැකියි. මුදල් නැති වූ පසුව ඔවුන් පන්සලට පැමිණ මේවා හොරකම් කර කීයකට හෝ විකුණනවා. පූජනීය ස්ථානය ආගමික වතාවත් පවා නොහැකි තත්ත්වයකට රට පත්ව තිබෙනවා. මේ තත්ත්වයන් නිවාරණය කිරීමටයි යුක්තියේ මෙහෙයුම හඳුන්වාදී තිබෙන්නේ. අපට පෙනෙන අන්දමට එය ඉතාමත් සාර්ථකව සිදු කෙරෙනවා. මීට විරුද්ධ වන්නේ ඇයි කියන එකත් ප්‍රශ්නාර්ථයක්. ඒ නිසයි අද මහා සංඝරත්නය ලෙස අද අපි එකතුවී සිටින්නේ. ඒ වගේම තමයි ගෑනු ළමයින්ට සිදු වන ලිංගික හිරිහැර. බස් එකක ප්‍රධාන ප්‍රවාහන පද්ධතියක ඔවුන්ට යාමට නොහැකියි. ලිංගික අඩන්තේට්ටම්වලට ඔවුන් ලක්වෙනවා. බස් එකක ගමනක් යන මගියාගේ වැටුප සොරකම් කරනවා. මේවා කරන්නේ මේ මත් උවදුර නිසයි. කුඩු බොන්න පුරුදු වුණාම ඒ අය කොහෙන් හෝ මුදල් හොයනවා. සියලු සමාජ වගකීම් නිසි ලෙස ක්‍රියාත්මක වන මෙහෙයුමක් ලෙස යුක්තියේ මෙහෙයුම අපි හඳුන්වනවා. මේ අවස්ථාවේ අපි මහා සංඝරත්නය ලෙස පොලිස් භාර ඇමැතිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා ආරක්ෂා කිරීමට එකතුව කටයුතු කරනවා. අපි ජනාධිපතිවරයාට කියා සිටිනවා, මේ අයට අවශ්‍ය ශක්තිය තවදුරටත් දෙන්න කියලා. යුක්තියේ මෙහෙයුම සාධාරණව සිදු වෙනවා දැකීමට මහා සංඝරත්නය ලෙස අප කැමතියි. ඒ නිසයි අපි අද එකතුවී පොලිස් භාර ඇමැතිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයාට අවශ්‍ය සෑම සහායක්ම දෙන බවට ප්‍රතිඥා දෙන්නේ.”

ලුමිබිණි විද්‍යාලයේ සහකාර විදුහල්පති දිවිතුරේ සමන්ත හිමි

“සමස්ත ලෝකයම නිදහසේ ජීවත් වන වටපිටාවක් සකස් කරන මෙහෙයුමක් ලෙස යුක්තියේ මෙහෙයුම හඳුන්වා දිය හැකියි. පංච ශිලය තුළ මත්ද්‍රව්‍ය ගැන හඳුන්වාදී තිබෙනවා. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඇති වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා නිදහස් සුරක්ෂිත ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. එහිදී යෝජනා බොහොමයක් ඉදිරිපත් වුණා. අපේ රට ඉදිරිපත් කළේ පන්සිල්. එහි වැදගත්කම අපට අවබෝධ වෙනවා. නාකොටික් හිටපු ප්‍රධානියා මෙන්ම හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කටයුතු කළ කාලයේ මත් උවදුර මැඬලන්න පාසල් ගුරුවරයෙක් ලෙස මමත් එක්ව කටයුතු කළා. පාසල්වල පුවත්පත් කළා. සාකච්ඡා සිදු කළා. ගංජා ගහලා කුඩු ගහන දරුවන් අද පාසල්වලට එනවා ගොඩක් දරුවන්ගේ අම්මලා තාත්තලා කුඩු විකුණනවා. ඒවා හංගන්නේ දරුවන්ගේ පාසල් බෑග්වලයි. ඒවා ගැන අපට නිරන්තර අහන්න දකින්න ලැබෙනවා. මහා පරිමාණ ජාවාරම්කරුවන් පවා අල්ලන්න මේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා. මහා පරිමාණයෙන් රටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වළක්වන්න ඕනෙ. මේ අය අල්ලන්නේ නැත්තේ ඇයි කියා විමසනවා. දැන් මට සතුටුයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තෝරු මෝරු පවා කොටු කරගන්න මේ මෙහෙයුමට හැකි වී තිබෙනවා. පොලිස් කණ්ඩායම් විදේශයන්ට ගොස් මේ හා සම්බන්ධ සැකකරුවන් රටට ගෙනැවිත් ඔවුන්ට එරෙහිව කටයුතු කරමින් තිබෙනවා. ඔවුන්ගේ දේපොළ රාජසන්තක කිරීමට කටයුතු කරමින් සිටිනවා. පන්ති කාමරය කඩා වැටීම රට කඩා වැටීමක්. මේ අපි කරන්නේ කඩේ යෑමක් නෙවෙයි. පොලිසිය භාර ඇමැතිවරයා වැඩ බලන පොලිස්පතිවරයා රටට වැඩදායක ක්‍රියාවක් සිදු කරන අවස්ථාවක ඊට විරුද්ධ වීමට ඉඩ දිය නොහැකියි. මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන එකට විරුද්ධ වන අයට එරෙහිව මහා සංඝරත්නය විරුද්ධ වෙනවා. අපට අවශ්‍ය සාමකාමී බෞද්ධ රටක් ගොඩ නැඟීමටයි.”

මාතර වෙහෙරහේන පූර්වාරාම විහාරාධිපති කෑගල්ලේ රත්නසාර හිමි

“යුක්තිය මෙහෙයුමෙන් මේ රටේ ගම් නියම්ගම් වෙළා ගත් මත් උවදුර තුරන් කිරීමට හැකි බව අපට විශ්වාසයි. මේ වන තෙක් රටේ යුක්තියක් තිබුණා ද කියන ප්‍රශ්නයත් වැදගත්. රට වෙළා ගත් මත් උවදුරට තිත තබන්න පොලිස් භාර ඇමැතිවරයා වැඩ බලන පොල්සිපතිවරයා යුක්තියේ මෙහෙයුම ආරම්භ කළා. ඒ අය සමඟ මේ රටේ මහා සංඝරත්නය එකාවන්ව සිටිනවා. මේ රට භාර ගන්න සිටින අනාගත පරපුර තමයි මත් උවදුරින් වෙළාගෙන සිටින්නේ. අනාගත පරපුර දිනෙන් දින විනාශ වෙනවා බලා සිටින්නට මහා සංඝරත්නය ලෙස අපට බෑ. කෙහෙන් මත්ද්‍රව්‍ය එනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. මේ රට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානය ද කියා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය දෙස බැලූ විට පෙනී යනවා. ටොන් ගණනින් මත්ද්‍රව්‍ය වැටලීම් කරනවා. මේ රට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මූලස්ථානයක් විය යුතු නෑ. යුද්ධය ස්වාභාවික විපත් භයානක අනතුරු වගේම මත් රකුසාත් රටට විශාල විනාශයක් ගෙනදී තිබෙනවා. රට පුරා සිදු කරන යුක්තිය මෙහෙයුම ගැන අප සතුටට පත් වෙනවා. විෂය භාර ඇමැතිරයාගේ වැඩ බලන පොලිස්පතිවරයාගේ ජීවිත පවා පරදුවට තියා කටයුතු කිරීමමේ අවස්ථාවේ අගය කළ යුතුයි. මේවා විනාශ කරන්න යම් යම් බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ මත් උවදුර රටට අවශ්‍ය නෑ. එය නැවැත්වීමට කටයුතු යෙදිය යුතුයි. එය ක්‍රියාත්මක කරන පිරිසට සහාය දීම වැදගත්. යුද්ධය අවස්ථාවේ මාතෘ භූමිය රකින්න මහා සංඝරත්නය එක් වුණා. හමුදාවන්ට සහාය දුන්නා සාමය රකින්න. මත් උවදුර තුරන් කරන්නත් ඒ වගේම මහා සංඝරත්නය එක් වෙනවා. සියලුම ආගමික පූජකවරුන් මෙන්ම සියලු ජනතාව ද මීට එක් විය යුතුයි.”

කැළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මතරතන හිමි

“රට බේරා ගැනීමට එක්විය යුතුම මොහොතක්. ඒ නිසයි දිවයිනේ සිව් දෙසින් මහා සංඝරත්නය මේ ස්ථානයට වැඩමවා සිටින්නේ. විශාල වැඩ කොටසක් අතහැරලයි මේ ස්වාමීන් වහන්සේලා දුර බැහැර ගෙවා වැඩ සිටින්නේ. රටට අවැඩක් වන සෑම අවස්ථාවකම අතීතයේ සිටම මහා සංඝරත්නය නැඟී සිටියා. අයුක්තිය වෙනුවෙන් මහා සංඝරත්නය කිසිදා සිටගන්නේ නෑ. යුක්තිය පැත්තේ සිටගන්න වෙනවා. යුක්තිය පැත්තේ අයුක්ත්යට පිටුපා සිට ගැනීමට මහා සංඝරත්නය කිසි අවස්ථාවක පසුබට වෙන්නේ නෑ. මත්ද්‍රව්‍ය උවදුරින් තර්ජිත ස්ථානයක් බවට මේ වන විට අපි පත්ව සිටිනවා.පවුල් ආර්ථිකය පවා මේ වන විට කඩා වැටිලා. මේ තත්ත්වය පන්සලට, පල්ලියට, කෝවිලට පවා බලපානවා. මෙය සමස්ත රටට බලපාන ප්‍රශ්නයක්. එක් ජන කුලකයකයකට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. කතෝලික, මුස්ලිම්, දමිළ සහ සිංහල සියලු ජනයා මේ මත් උවදුරට ගොදුරු බවට පත්ව සිටිනවා. මේ සමස්ත ප්‍රජාව වෙනුවෙන් මහා සංඝරත්නය අද නැඟී සිටින්නේ. සියලු ආගමික පූජකවරුන් පවා මේ අවස්ථාවේ නැඟී සිටිය යුතුයි. සකලවිධ ජාතිකත්වයෙන් අපේ ප්‍රජාව නැඟී සිටිය යුතුයි. අපි අද කතා කරන්නේ රට පැත්තේ සිටගෙනයි. රටට යහපතක් කරන පුද්ගලයන් ආරක්ෂා කිරීම අපේ යුතුකමක් වගේම වගකීමක්. මත් උවදුරින් ජනතාව මංමුලා වීමක් විතරක් නෙවෙයි සිදු වන්නේ. අපේ රටේ මුදල් පිටරට යවලා මත්ද්‍රව්‍ය රටට ගෙනැවිත් රට බංකොළොත් භාවයට පත් කරනවා. ”

මේ අවස්ථාවට ඇලන් මැතිනියාරාම විහාරාධිපති උඩුවේ ධම්මාලෝක නාහිමියන් ඇතුළු ගාල්ල, මාතර, මොණරාගල, ගම්පහ, කළුතර, අම්පාර, කෑගල්ල ඇතුළු දිවයිනේ විවිධ විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝරත්නය විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප – චින්තක කුමාරසිංහ

සුභාෂිණී සේනානායක සහ මහරගම – උදේනි චන්ද්‍රසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT