Saturday, May 10, 2025
Home » මැටිගත්වල ගොවීන් අක්කර 100ක වගා කළ කිරී සම්බා සාර්ථකයි

මැටිගත්වල ගොවීන් අක්කර 100ක වගා කළ කිරී සම්බා සාර්ථකයි

by sachintha
February 26, 2024 1:02 am 0 comment

හම්බන්තො‌ට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස, මැටිගත්වල ප්‍රදේශයේ ගොවීන් අක්කර 100ක පළමු වරට වගා කළ කීරි සම්බා වී වගාව ඉතාමත් සාර්ථකවී තිබේ.

මේ දිස්ත්‍රික්කයේ මින් පෙර වැඩිපුරම වගා කර ඇත්තේ අම්බලන්තොට වී පර්යේෂණායතනය හඳුන්වා දුන් දේශීය වී වර්ගයක් වන වැඩිම වී අස්වැන්නක් ලැබෙන At 362 නමැති රතු කැකුළු විශේෂයයි.

මේ වන විට අප රටේ සම්බා, නාඩු සහල් සහ වී ජාතික අවශ්‍යතාවත් ඉක්මවා ඇති නමුත් කිරී සම්බා සහල්වල හිඟයක් පවතී. ඊට හේතුවවී ඇත්තේ 2022 මහ කන්නයේදී කීරි සම්බා වී වගා කිරීමට ගොවීන් නොපෙලඹීමයි. මේ හේතුවෙන් රටේ විශාල කීරි සම්බා හිඟයක් ඇති විය. මේ නිසා රජය විසින් කීරි සම්බා සහල්වලට විකල්පයක් වන වෙනත් සහල් යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කීරි සම්බා මුළුමනින්ම දේශීය වී වර්ගයක් වන අතර, BG-360 යනුවෙන් බතල‌ගොඩ වී පර්යේෂණායතනයෙන් නිපදවන ලද කීරි සම්බා මේ වන විට අපේ රටේ ජනප්‍රියම සහල් විශේෂය වේ.

මේ වන විට අප රටේ සහල් අතරින් වැඩිම ඉල්ලුමක් ඇති සහල් වර්ගය කීරි සම්බා වේ. එම නිසාම මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් 80,000ක කීරි සම්බා වගා කිරීමට කටයුතු යොදනු ලැබූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එම වගාවෙන් අවම වශයෙන් මෙට්‍රික් ටොන් 350,000ක වී අස්වැන්නක් අපේක්ෂිතය. මැටිගත්වල ප්‍රදේශයේ මේ කීරි සම්බා වගාව පසුගිය 23 වැනිදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.

ගොවීන් වෙත සිය ප්‍රසාදය පළ කළ ඇමැතිවරයා පැවැසුවේ ඉදිරි මහ කන්නය වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් කුඹුරු හෙක්ටයාර් 500ක පමණ අපි කීරි සම්බා වගාව ව්‍යාප්ත කරන බවයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT