“දියේ ගිලෙන් සිටි සසිදුට සහ අනුහස්ට මම අඩි 07ක් පමණ උණ ලීයක් දැම්මා. අනුහස් ඒක අල්ලාගෙන උඩට ආවත් සසිදුට ගොඩට එන්න බැරිව ගියා.” යැයි දියේ ගිලී මිය ගිය තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණයේදී ඥාති සහෝදරයෙක් වන 19 හැවිරිදි කස්තුරි ආරච්චිල්ලාගේ ෂෙහාර සන්දික කස්තුරි ආරච්චි තරුණයා ඊයේ (25) සාක්ෂි දෙමින් පැවැසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල, හෙට්ටිමුල්ල, හපුවිට, පල්ලේගම පදිංචිව සිටි කෑගල්ල කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි හීංවැල්ල ආරච්චිලාගේ සසිදු මලීෂ පද්මසිරි නමැති 19 හැවිරිදි තරුණයෙකි. මිය ගොස් ඇති තරුණයා ත්‍රිරෝද රථයකින් පෙරේදා 24 වැනිදා මොරොන්තොට ගුරුගොඩ ඔයේ දීය නෑමට ගොස් තිබුණි. මිය ගිය තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (25) කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී සිදු කෙරිණි.
මිය ගිය තරුණයාගේ මව වන 49 හැවිරිදි කස්තුරි ආරච්චිල්ලාගේ චන්දිකා දමයන්ති මෙසේ ද පැවැසුවාය.
“මම දැනට කෑගල්ල ආයුර්වේද මූලික රෝහලේ ආහාර භාරව කටයුතු කරනවා. සැමියා ජගත් නිශාන්ත පද්මසිරි මීට මාස තුනකට පමණ ඉහතදී හෘදයාබාධයකින් කෑගල්ල මහ රෝහලේදී මිය ගියා. මට පුතෙක් හා දුවක් සිටිනවා. පුතා පළමුව හෙට්ටිමුල්ල බණ්ඩාරනායක ජාතික පාසලට ගියා. ඊට පස්සේ කෑගල්ල ස්වර්ණ ජයන්ති ජාතික පාසලට ගිහිල්ලා උසස් පෙළ විභාගයට ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් ඉගෙන ගත්තා. ප්‍රතිඵල අපේක්ෂාවෙන් කෑගල්ල කාර්මික විද්‍යාලයට මේ අවුරුද්දේ ජනවාරිවල ඉඳලා ඔටෝ මොබයිල් පාඨමාලාව හැදෑරීමට යමින් එමින් සිටියා.
සැමියා මිය ගිහිල්ලා තුන් මාසේ පින්කම 23 සහ 24 යෙදිලා තිබුණා. 23 බණ කිව්වා. 24 දහවල් ස්වාමීන් වහන්සේලා වැඩම කරලා දානයක් දුන්නා. පුතාම තමයි මූලික වෙලා පින්කමේ වැඩ කළේ.
පින්කම ඉවර වෙලා හවස ගෙවල් ළඟ ඇළට නාන්න යනවා කියලා සසිදු පුතයි මගේ දුවයි, මගේ අයියාගේ පුතයි, දුවයි අපේ ඥාති පුතකුයි ගියා. පසුව මමත් ළිඳට ගිහිල්ලා නාගෙන ගෙදරට ආවා. ඇවිල්ලා මම පුතාට දුරකතනයෙන් කතා කරන්න දුරකතනය සොයමින් සිටියා. පස්සේ මම සමඟ නාමින් සිටි නෑනලා දෙන්නා ඇවිල්ලා මට කිව්වා කරදරයක් කියලා. පස්සේ මම පුතාට කරදරයක් කියලා හිතලා ත්‍රිරෝද රථයකින් මොරොන්තොට ගුරුගොඩ අසලට ගියා. පස්සේ මගේ අයියා මට ඔයට යන්න දුන්නේ නෑ.
පස්සේ මගේ දුව දුවගෙන ඇවිල්ලා කිව්වා අම්මේ අයියා ගහගෙන ගියා කියලා. පස්සේ මට දැන ගැනීමට ලැබුණා රෙදි පෙරදී සොදාගෙන නාලා ඉවරලා ඔය දිගේ උඩහට වළකට ගිහිල්ලා දියේ ගිලිලා කියලා. පස්සේ මම ගෙදර ආවා. පස්සේ පුතා රෑ හම්බ වෙලා කියලා දැන ගත්තා. පස්සේ පුතාගේ ඇඳුම් ද රැගෙන ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ආවා. ඒ ආවාට පස්සේ මට රෝහලේ බාහිර රෝගී අංශයේ දී මගේ එකම පුතා මිය ගිහිල්ලා කියලා දැන ගත්තා.
පස්සේ ඊයේ (25) පෙරවරුවේ කෑගල්ල මහ රෝහලේදී පුතාගේ දේහය හඳුනාගෙන හදිසි මරණ පරීක්ෂණයට පෙනී සිටියා. මගේ පුතා ඔයට ලිස්සා යද්දී ඥාති පුතෙක් වන ශෙහාර ගොඩ ගන්න හැදුවත් ගන්න බැරි වෙලා තියෙනවා කියලා මම පස්සේ දැන ගත්තා.”
කස්තුරි ආරච්චිල්ලාගේ ෂෙහාර සන්දික කස්තුරි ආරච්චි තරුණයා
“මම රඹුක්කන පින්නවල ජාතික පාසලේ ඉගනුම ලබා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටියා. මිය ගිය සසිදු මලීෂ පද්මසිරි අයියාගේ තාත්තාගේ තුන් මාසේ දානය තිබුණා. දානය ඉවර වෙලා මමත් මගේ නංගිත් සසිදු සසිදුගේ නංගිත් සමඟ ත්‍රිරෝදයකින් අනුහස් සමඟ සසිදුගේ ත්‍රිරෝද රථයකින් නාන්න මොරොන්තොට ගුරුගොඩ ඔයට ගියා. ගිහිල්ලා මමත් මිය ගිය සසිදුත් ඥාති පුතෙක් වන අනුහස් සමඟ ඔයේ මීටර් 25ක් පමණ ඉහළට ගියා. එතැන ලොකු වළක් තිබුණා. ඒ වළෙන් නාමු කියලා සසිදු කිව්වා. මම කිව්වා බෑ නාන්න කියලා. මට පීනන්න බෑ සසිදුට පීනන්න බෑ. ඔහොම ඉන්න කොට මම උඩහට ගිහිල්ලා එන්නම් කියලා ගියා. පස්සේ එද්දී දෙදෙනාම ඔයේ ගිලිලා අත් දෙක ඉහළට ඔසවා ඉන්නවා දැක්කා. පස්සේ මම ළඟ උණ ලීයක් තිබිලා වතුරට මම බැහැලා ඔවුන් දෙදෙනා දිහාට දැම්මා. ඒ වෙද්දී සසිදු එක අතකින් නහය වහගෙන අනිත් අත උස්සනවා දැක්කා. පස්සේ අනුහස් ගොඩට ගත්තා. සසිදුට ලීය දැම්මත් ඔහුට ඇහුණේ නැති බව තේරුණා. පස්සේ මම ගලක් උඩට නැගලා පල්ලෙහා නාමින් සිටි පිරිසකට කෑ ගහලා කිව්වා. පස්සේ අයියා කෙනෙක් දුවගෙන ඇවිල්ලා වලට බැහැලා බැලුවා. පස්සේ ඒ අයියා ගොඩට ඇවිල්ලා කිව්වා මට වළ ඇතුළතට යන්න බැහැලා කියලා කිව්වා. පස්සේ මම 119 දුරකතන අංකයට හා 1990 කතා කරලා පස්සේ මම මේ ගැන කතා කරලා කිව්වා.
පස්සේ ඒ ස්ථානයට ගොඩක් අය ආවා. පස්සේ සසිදුව සොයමින් සිටි කෙනකුට ගලක් යට සිටියදී උඩට ගෙනාවා. ඒ වෙන කොට සිහියක් සසිදුට තිබුණේ නෑ. ඒ වේලාවේ ඇවිල්ලා තිබුණු 1990ට සසිදු මලීෂ දීලා පිටත් කර යැව්වා. මම රෝහලට ආවාට පස්සේ සසිදු මිය ගිහිල්ලා කියලා දැන ගත්තා. පස්සේ මම සසිදුගේ දේහය හඳුනාගෙන මරණ පරීක්ෂණයට ඊයේ (25) පෙනී සිටියා.”
මිය ගිය තරුණායාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (25) වැනිදා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය නෙරංජා උදය කුමාරි මහත්මිය විසින් සිදු කළාය. ගුරුගොඩ ඔයේ දිය නාමින් සිටියදී දියේ ගිලි සිදු වු හදිසි අනතුරු මරණයක් බවට කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළාය.
බුලත්කොහුපිටිය පොලිසියේ පොලිස් සැරයන් නිශ්ශංක (46624) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කෙරිණි.
කෑගල්ල විශේෂ චමින්ද ජයලත් සහ සබරගමුව සමූහ ගාමිණී රම්‍යපාල