උපන් බිමේ උරුමය තහවුරු කරමින් මහවැලි ගොවි පවුල් ලක්ෂ දෙකකට සින්නක්කර ඔප්පු ලබාදීමට රජය සැලසුම් කර තිබෙන බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ, සංකල්පයකට අනුව දීපව්‍යාප්තව ක්‍රියාත්මක “උරුමය” ඉඩම් ඔප්පු ලක්ෂ 20 ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව, මහවැලි බලප්‍රදේශ 10 ආවරණය කරමින්, මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ප්රදානය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙන බව පෙන්වාදෙන ඒ මහත්මිය උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළාය.
මෙම සාකච්ඡාවේ දී ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දුන්නේ සිය උපන් භූමියේ හිමිකම ලබාදීම තුලින් මහවැලි ගොවි ජනතාවගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ශක්තිමත් කිරීමට එය මහඟු පිටිවහලක් වන බවයි. මේ වනවිට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සියළු කලාපවල ජනපදිකයින් වෙනුවෙන් බැහැර කර ඇති ඉඩම් කොටස් ගණන 315,529 කි. එයින් 2024 ජනවාරි 30 දිනට ලබා දී ඇති ප්‍රදාන පත්‍ර ගණන 219,372 ක් වන අතර ලබා දී ඇති අවසර පත්‍ර ගණන 48,881 වේ.
ඒ අනුව මේ වනවිට “දීමනා පත්‍ර” ලබාදී ඇති ජනපදිකයින්ගෙන් නිරවුල්ව භුක්ති විඳින ඉඩම් කොටස් (207000) දෙලක්ෂ හත් දහසක් වෙනුවෙන් එහි ඊළඟ පියවර වන “නිදහස් දීමනා පත්‍ර” හෙවත් සින්නක්කර ඔප්පු ලබාදීමට සැලසුම් කර තිබේ. මහවැලි ඉඩම් අධ්යක්ෂ ඩී.එම්.පී.බී දිසානායක මහතා පැවැසුවේ ප්‍රදාන පත්‍ර සහ අවසර පත්‍ර ලබා දී ඇති සෙසු ගොවි පවුල් සඳහා නියමිත නිර්ණායකවලට අනුකූලව අදියර කිහිපයක් යටතේ සින්නක්කර ඔප්පු ප්රදානය කර අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි.
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ, කෘෂිකාර්මික හා පදිංචියට ලබා දී ඇති ඉඩම්, විදිමත් පරිදි සංවර්ධනය කර, නිරවුල්ව භුක්ති විඳින ගොවි පවුල් වලට අයත් ඉඩම් සඳහා මෙම සින්නක්කර ඔප්පු ලබාදීම සිදුකෙරෙන බවද හෙතෙම සඳහන් කළේය. මේ වනවිට මහවැලි කලාප 10 තුල සින්නක්කර ඔප්පු හය දහසක් සූදානම් කර තිබෙන අතර එය නුදුරු දිනෙක දී මහවැලි ගොවි ජනතාවට ප්රදානය කිරීමට සැලසුම් කර තිබේ.
සින්නක්කර ඔප්පු ලබාදීම තුලින් මහවැලි ජනපදිකයින් සතු ඉඩම්වලට නව වටිනාකමක් හිමිවන අතර ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා එම ඉඩම් කෘෂිකාර්මාන්තය අශ්‍රිත හෝ වෙනත් වානිජ කටයුතු සඳහා යොදා ගැනීමට ද අවස්ථාව හිමිවේ. උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩපිළිවෙල යටතේ සින්නක්කර ඔප්පු ලක්ෂ 20 ක් ප්රදානය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අභිලාෂය වී තිබේ. එම වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු 10000 ක් පසුගියදා දඹුල්ලේ දී ගොවි ජනතාව වෙත ප්රදානය කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (පාලන හා මුදල්) කෞෂල්‍යා විජයවීර, අධ්යක්ෂ (ඉඩම්) ඩී.එම්.පී.බී.දිසානායක, ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරු, අතිරේක මිණුම්පති සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සියළුම කලාප කාර්යාල නියෝජනය කරමින්, නේවාසික ව්‍යාපාර කළමනාකාරවරුන්, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (ඉඩම්) ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් රැසක් සහභාගි වී සිටියහ.
මහින්ද අලුත්ගෙදර