Home » හොඳ සෞඛ්‍ය සේවයක් මේ රටේ සෑම දරුවකුටම ලැබිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

හොඳ සෞඛ්‍ය සේවයක් මේ රටේ සෑම දරුවකුටම ලැබිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
February 26, 2024 1:58 am 0 comment

දේශපාලනඥයින්ගේ දරුවන් පෞද්ගලික සෞඛ්‍ය සේවා ඔස්සේ ලබා ගන්නා සැලකිල්ල මේ රටේ සෑම දුවෙකුටම පුතෙකුටම රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ගැනීමට හැකි පසුබිම සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එන්නත්කරණය සඳහා තම දියණිය පෞද්ගලික රෝහලකට රැගෙන ගිය අවස්ථාවේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය නිවුමෝනියා වළක්වා ගැනීම සඳහා ලබා දෙන රුපියල් 7800ක් පමණ මිලක් වන එන්නතක් දරුවාට ලබා දීමට කටයුතු කළ බවත් මිල අධික නිසා එම එන්නත රජයේ රෝහල්වලින් ලබා නොදීම නිසා මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ දරුවන්ට විශාල අසාධාරණයක් වන බවත් ඒ මහතා කීය.

කන්ද උඩරට සමගි වනිතා සමුළුව මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගණයේ දී පෙරේදා (24) පැවැති අවස්ථාවේ ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.

ක්ෂුද්‍ර ණය මර උගුලෙන් බේරාගෙන මේ රටේ විරෝධාර කාන්තාව රටේ ආර්ථික වර්ධනයට ශක්තිය ලබා දෙන ව්‍යවසායකින් බවට පත් කරන බවත් මේ රටේ ලක්ෂ 16ක් වන කාන්තා මූලික පවුල් අද ප්‍රශ්න රැසක් මධ්‍යයේ අසහනයට පත්ව කිසිදු රැකවරණයක් නොමැති තත්ත්වයකට පත්ව සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ රටේ කාන්තාවන් දේශපාලන ඉත්තන් බවට පත් නොකර ගෙන කාන්තා මූලික ගෘහ ඒකකවලට සාධාරණය ඉටු කරන්න කටයුතු කරන බවත් බංකොලොත් රටක ආණ්ඩුවට ලබා දීමට නොහැකි වූ බොහෝ දේ සක්වල ඇතුළු වැඩසටහන් යටතේ විපක්ෂයේ සිට තමන්ට කිරීමට හැකි වූ බවත් ඒ මහතා කීය. පාසල් 109ක් සඳහා රුපියල් ලක්ෂ 1086ක් වැය කර ස්මාර්ට් පන්ති කාමර ලබා දුන් බවත් ඊට අමතරව රුපියල් ලක්ෂ 3892ක් වැය කර පාසල් 80කට බස් රථ ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, රෝහිණී කවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT