Home » රුසියානු-යුක්‍රේන සංචාරකයන්ට රටින් පිටවෙන්නැයි කීම ගැන පරීක්ෂණයක් – ජනපති නියෝග කරයි

රුසියානු-යුක්‍රේන සංචාරකයන්ට රටින් පිටවෙන්නැයි කීම ගැන පරීක්ෂණයක් – ජනපති නියෝග කරයි

by sachintha
February 26, 2024 12:07 am 0 comment

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ට දින 14ක් ඇතුළත රටින් පිටවන්නැයි සිදු කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය. මෙම සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති පසුබිමක් යටතේ එම සංචාරකයන්ට රටින් පිටවන ලෙස දැනුම් දී තිබේ. ආගමන විගමන පාලකවරයා විසින් සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා ලිපියක් නිකුත් කරමින් යුක්රේන සහ රුසියානු සංචාරකයන්ට නව නීතිය පිළිබඳ දැනුම් දෙන ලෙස ඉල්ලා තිබේ.

මෙම සංචාරකයන් බොහෝ දෙනෙක් තම ජාතීන් දෙක අතර යුද්ධයක් ඇති වූ 2022 පෙබරවාරි මාසයේ සිට ඔවුන්ගේ සංචාරක වීසා කාලානුරූපී දිගුවක් මත මෙහි පදිංචිව සිටිති. යුද්ධය පුපුරා යාමෙන් පසු තම මව් රටවලට ගුවන් ගමන් ඇනහිටීමෙන් පීඩාවට පත් වූ යුක්රේන ජාතිකයන්ට සහ රුසියානුවන්ට 2022 පෙබරවාරි 28 වැනිදා සිට සම්පූර්ණ වසර දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවසර ලබා දී ඇත්තේ නොමිලේ වීසා දීර්ඝ කිරීම් මත බව එම ලිපියේ සඳහන් වේ. රුසියානු යුක්රේන ගැටුම දිගින් දිගටම පැවැතියද දැන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් පවතින අතර යුක්රේන ජාතිකයන්ට ද ගුවන් මගින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට සහ පිටවීමට පහසුකම් ඇති බැවින් ඔවුන්ගේ වීසා බලපත්‍ර ඒ ආකාරයෙන්ම දීර්ඝ කිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව නිරීක්ෂණය වේ යැයි එම ලිපියේ සඳහන් වී තිබේ. ඉහත කාණ්ඩවලට අයත් රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට පෙබරවාරි 23 සිට දින 14ක කාලයක් මෙම රටින් පිටවීමට කාලය ලබා දී ඇති අතර, මෙම කාලය තවදුරටත් දීර්ඝ නොකරන බවත් එමගින් දක්වා තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT