Tuesday, May 13, 2025
Home » නැවත ප්‍රතිසංස්කරණය කළ වියලුව-තල්දෙන මාර්ගයේ එල්ලෙන පාලම ජනතා අයිතියට

නැවත ප්‍රතිසංස්කරණය කළ වියලුව-තල්දෙන මාර්ගයේ එල්ලෙන පාලම ජනතා අයිතියට

by sachintha
February 26, 2024 1:07 am 0 comment

නිමල් සිරිපාල ද සිල්වා පදනමේ මූල්‍ය ප්‍රදානයෙන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තාක්ෂණික දායකත්වයෙන් වියලුව-තල්දෙන ආදර්ශ ගොවිපොළ මාර්ගයේ අබලන්ව පැවති වසර 45ක් පමණ පැරණි එල්ලෙන පාලම නැවත ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීම වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) සිදු කෙරිණි.

නිමල් සිරිපාල ද සිල්වා පදනම විසින් දෙන ලද රුපියල් ලක්ෂ 11ක පමණ මූල්‍ය ප්‍රදානයකින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාවිතයෙන් ඉවත් කරන ලද වානේ කේබල් සහ යකඩ යොදා ගනිමින්, සේවකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් මේ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇති අතර, මේ පාලමෙහි සම්පූර්ණ දිග මීටර් 68කි.

දින 10ක් වැනි කෙටි කාලයකදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන්ගේ ශ්‍රම දායකත්වය මත නිම කරන ලද මේ එල්ලෙන පාලම හේතුවෙන් තල්දෙන ආදර්ශ ගොවිපොළ මාර්ගය භාවිත කරන ගම්මාන 06ක වෙසෙන දහසකට වඩා වැඩි ගම්වැසියන් ප්‍රමාණයකට ගමන් පහසුකම් සැලසෙයි. ඒ අනුව කිලෝ මීටර් 06කට වඩා වැඩි දුරක් ගෙවා තල්දෙන වෙත ගමන් කළ ගම්වැසියන්ට මේ පාලම හේතුවෙන් එම දුර කිලෝ මීටර් 1/2ක් දක්වා අඩු වී ඇත.

සොරණාතොට ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු කාර්ය මණ්ඩලය ද මේ සඳහා අවශ්‍ය සහාය දී ඇත. මේ අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අලගෙවත්තගේ මහතා ඇතුළු නිලධාරීහු ද, ගම්වාසීහු ද සහභාගි වූහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT