දේශපාලනඥයන්ගෙන් වයඹ පළාත් සභා නිලධාරීන්ට දැඩි විරෝධය
කල් දමන ලද පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වූ විදුහල්පතිවරුන් දෙදෙනකු පමණක් වයඹ පළාත් සභාව මගින් නැවත සේවයෙහි පිහිටුවීම සම්බන්ධයෙන් පසුගියදා (22) පැවැති කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක දී පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලනඥයන්ගෙන් වයඹ පළාත් සභාවේ නිලධාරීන් වෙත දැඩි විරෝධයක් එල්ලවී තිබේ.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කමිටු රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ දී කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.
මෙම වසර සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවු බව කියයි. මීට අමතරව පළාතේ පාසල්වල ඉදිකිරීම් ඇතුළු සංවර්ධන යෝජනා ඉදිරිපත් කිරිමේ දී සහ විදුහල්පතිවරුන් පත්කිරීම ඇතුළු පත්කිරීම්වල දී මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම් නොසලකා හරිමින් නිලධාරීන් කටයුතු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවා තිබූ බව කියයි.
කල් දමන ලද පළාත් පාලන මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ අනෙකුත් දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ද විශාල පිරිසක් සිටිය දී ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකයන් වන විදුහල්පතිවරුන් දෙදෙනකු පමණක් නැවත තනතුරුවල පිහිටුවීමට ක්‍රියා කිරීම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විරෝධයට හේතුවවී තිබේ. ඔවුන් මෙන්ම අනෙකුත් අපේක්ෂකයන්ද ඉතා ඉක්මණින් යළි සේවයෙහි පිහිටුවිය යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මෙහි දී දැඩි ලෙස අවධාරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා මෙන්ම වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නයනා කාරියවසම් මහත්මියව පොහොට්ටුවේ දේශපාලනඥයන්ගේ දැඩි විවේචනයට ලක්වූ බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. එහි දී එම උසස් නිලධාරීන් පවසා ඇත්තේ මෙය තමන් තනි මතයට ගත් තීරණයක් නොවන බවත් මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවන ලද නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමක් පමණක් වන බැවින් මෙහි දී තමන් කිසිදු වරදක් කර නැති බවත්ය. මේ අවස්ථාවේ දී එහි රැස්ව සිටි පොහොට්ටුවේ දේශපාලනඥයන් මෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද එම නිලධාරීන් දෙපළට දැඩි විරෝධය එල්ල කළ බව වාර්තාවේ. පළාත් සභාව යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ බලතල ආණ්ඩුකාරවරයා ඇතුළු පළාත් සභාවේ උසස් නිලධාරීන් සතුවන බැවින් ප්‍රධාන ලේකම්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය පවසනදේ පිළිගත නොහැකි බවට ප්‍රසන්න රණතුංග මහතා චෝදනා එල්ල කළේය. මෙහි දී අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වයඹ පළාත් සභාවේ බොහෝ නිලධාරීන් මාලිමාවට අවශ්‍ය පරිදි කටයුතු කරන බවටද චෝදනාවක් එල්ල කළේය. මෙම චෝදනාවන්ට පිළිතුරු දෙමින් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ උද්ගතව පවතින එම ගැටලුවට විසඳුමක් ලබා දීම සඳහා ජාතික ජන බලවේගය පක්ෂයට සම්බන්ධ බව කියන එම විදුහල්පතිවරුන් දෙදෙනාට ලබා දී තිබූ පත්වීම් අත්හිටුවීමට මේවනවිට තමන් පියවර ගෙන ඇති බවය. එසේම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ වයඹ පළාතේ සියලුම රාජ්‍ය සේවකයන් හට දේශපාලන බේදයකින් තොරව සාධාරණයක් වන ආකාරයට නැවත පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවටද ආණ්ඩුකාරවරයා මෙහි දී පොරොන්දු විය.
මෙම රැස්වීමට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහත්වරු ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්ද සහභාගිවී තිබේ. මේ අතර චෝදනාවට ලක්වූ වයඹ ප්‍රධාන ලේකම්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව ද වාර්තා වේ.
කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න