Wednesday, March 26, 2025
Home » හොර වීසාවලින් ග්‍රීසියට යන්න ආ ව්‍යාපාරික පවුල අත්අඩංගුවට

හොර වීසාවලින් ග්‍රීසියට යන්න ආ ව්‍යාපාරික පවුල අත්අඩංගුවට

by sachintha
February 26, 2024 12:13 am 0 comment

 

රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක මුදලක් තැරැව්කරුවකුට ගෙවා කූට ලෙස සකස් කළ ” ග්‍රීක ” වීසා භාවිත කර යුරෝපය වෙත පළායාමට පැමිණි සාමාජිකයන් හතර දෙනකුගෙන් යුතු ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී පසුගියදා(24) දින පස්වරුවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි, මෝටර් රථ අලෙවි කිරීමේ ව්‍යාපාරික කටයුතුවල නිරත මෙම පවුලේ පියා 43 හැවිරිදිය. මව 47 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගේ පුතුන් දෙදෙනා 21 හැවිරිදි වියේ සහ 16 හැවිරිදි වියේ පසුවන්නන්‍ ය. යුරෝපා රටවලට තානාපති කාර්යාලවල පවතින අධික කාර්යය බහුලත්වය නිසා, එම රටවලට අදාළ වීසා නිකුත් කිරීම “ගෝලීය වීසා පහසුකම් සැළසීමේ සේවාව ” (Global Visa Facilitation Service) නමැති ආයතනය මගින් සිදු කෙරේ.

තැරැව්කරු විසින් මෙම ව්‍යාපාරිකයා ඉන්දියාවේ පිහිටි මෙම ආයතනයේ කාර්යාලය ඉදිරිපිටට කැඳවාගෙන ගොස් පොරොන්දු මුදල ලබා ගෙන මෙම වීසා බලපත්‍ර ලබාදී තිබුණි. ඉන්පසුව මෙම ව්‍යාපාරික පවුල 24 දින පස්වරු 05.00ට බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 145 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔවුන් මුළින්ම බහරේන් නුවර වෙත ගොස්, වෙනත් ගුවන් යානයකින් ග්‍රීසියේ ඇතැන්ස් නුවර වෙත යාමට සැළසුම් කර තිබුණි. කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මොවුන් සිය නිශ්කාශන කටයුතු සඳහා ගල්ෆ් ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ ” ග්‍රීක ” වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ එම නිලධාරීන්, මොවුන් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ.

එහි දී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී මෙම වීසා බලපත්‍ර කූට ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබේ. ඉන්පසුව මෙම ව්‍යාපාරිකයා මේ සියල්ල එම නිලධාරීන් හමුවේ අනාවරණය කර ඇති අතර, තමන්ට මෙම ” ග්‍රීක ” වීසා බලපත්‍ර සකස් කර දුන් තැරැව්කරු තවත් 20 දෙනකුට ද මේ ආකාරයට මුදල් ලබා ගෙන ” ග්‍රීක ” වීසා ලබා දුන් බවට තවත් අනාවරණයක් ද කර තිබේ.

ඒ අනුව ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මෙම පවුලේ සාමාජිකයන් පිරිස අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT