Wednesday, March 26, 2025
Home » රොටුඹ සන්නිවේදන කුලුනේ බැටරි හොරකමට ඉංජිනේරුවා ඇතුළු 07ක් අත්අඩංගුවට

රොටුඹ සන්නිවේදන කුලුනේ බැටරි හොරකමට ඉංජිනේරුවා ඇතුළු 07ක් අත්අඩංගුවට

by sachintha
February 26, 2024 12:14 am 0 comment

මෙරට පිහිටි ජංගම දුරකතන සමාගමක රොටුඹ දන්ලන්ද වත්තේ පිහිටි සන්නිවේදන කුලුනක සවිකර තිබුණු රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමක් ඇති බැටරි සහ විදුලි බ්‍රේකරයක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ රොටුඹ පොලිසිය එම සොරකම සම්බන්ධයෙන් එම දුරකතන සමාගමේ ප්‍රාදේශීය ජාල ඉංජිනේරුවරයෙක් ඇතුළු 07 දෙනෙක් පෙරේදා (24)අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 19 වෙනිදාය. මේ ගැන පොලිසියට පැමිණිලිකර ඇත්තේ ගාල්ල බෝපේ පදිංචිකරුවෙක් වන අදාළ දුරකථන සමාගමේ විමර්ශන නිලධාරියෙක් විසිනි. එම පැමිණිල්ලට අනුව විමර්ශන පැවැත්වීමේ දී හෙළිවූ තොරතුරුවලට අනුව රොටුඹ පොලිසිය මෙම සොරකම සම්බන්ධයෙන් රන්සෑගොඩ මහවත්තහේනේ පදිංචි අවුරුදු 39 සහ 34 යන වයස්වල පසුවන සහෝදරයන් දෙදෙනෙක් සහ අවුරුදු 45ක් වයසැති රන්සෑගොඩම පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවී ඇත්තේ 45 හැවිරිදි සැකකරු අදාළ දුරකථන සමාගමේ ප්‍රාදේශීය ජාල ඉංජිනේරුවරයාගේ රියදුරු ලෙස කලක් කටයුතු කර ඇති බවය. සැකකරුවන්ගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීමේ දී හෙළිවී ඇත්තේ ජාල ඉංජිනේරුවරයා විසින් මෙම සොරකම මෙහෙයවා ඇති බවය. ඒ අනුව තෙලිච්ඡවිල පදිංචිකරුවෙක් වන 38 හැවිරිදි එම ඉංජිනේරුවරයාවද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ සොරාගත් බැටරි ඔවුන් අලෙවිකර ඇත. දුරකථන සංනිවේදන කුලුනුවලින් සොරාගන්නා බැටරි මිල දී ගැනීමට ජාලයක් ක්‍රියාත්මක වන බවත් එහි දී හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව ඇත. ඒ අනුව එම ජාලයට සම්බන්ධ තිදෙනෙක්වද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් හම්බන්තොට බඳගිරිය, නානුඔය සහ වැලිගවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

රොටුඹ පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති එච්.පී.කේ.කේ.වීරසිංහ මහතාගේ මෙයැවීමෙන් පොලිස් සැරයන්වරුන්වන පුෂ්පකුමාර (1924), සම්පත් (28435) රාජපක්ෂ (56022) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT