Home » මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් – ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ

මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් – ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ

by sachintha
February 26, 2024 1:16 am 0 comment

 

නැඟෙනහිර පළාතේ පිහිටා ඇති අක්කර සියයක පමණ වපසරියකින් යුතු මාන්තිව් දූපතෙහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බලන බවත් දැනට ප්‍රධාන ගැටලුවක්ව පවතින බන්ධනාගාර තුළ රැඳවියන්ගේ අධික ධාරිතාව අවම කර ගැනීමට එය යම් විසඳුමක් වනු ඇති බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ නැඟෙනහිර පළාතේ මඩකලපුව නගරයට ආසන්න මුහුදු තීරයේ පිහිටා ඇති මාන්තිව් දූපත නිරීක්ෂණ චාරිකාවකට පසුගිය 23 වැනිදා එක්වෙමිනි.

එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙලෙස සඳහන් කළේය.

“පසුගිය කොවිඩ් සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයට ගත් මේ භූමිය කොවිඩ් වැලඳුණු ගුවන් හමුදා නිලධාරීන් නිරෝධායනයට පහසුකම් සලසා දී තිබුණා. එම සම්පත් ප්‍රයෝජනයට ගනිමින් බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බලනවා.

මාන්තිව් ගොඩබිමේ මේ වන විට ලාදුරු රෝගීන් දෙදෙනකු පමණක් රඳවා සිටින ස්ථානයක් පවතිනවා. එය ‍ මීට වඩා රටට ඵලදායී වැඩක් සඳහා යොදා ගත හැකි ස්ථානයක්. දැනට එම ගොඩබිමෙහි රඳවා සිටින ලාදුරු රෝගීන් දෙදෙනා බෝ වන රෝගීන් සිටින ස්ථානයක් කරා මාරු කිරීමට ඇති හැකියාව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමටත් බලාපොරාත්තු වෙනවා.”

මේ අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති, නීතිඥ අනුරාධ ජයරත්න, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහත්වරු ඇතුළු නිලධාරීහු එක් වූහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT