Home » ළමාරක්ෂක අධිකාරියේ විමර්ශනයකින් කුරුණෑගල පාසලක සිසුවියන් අපයෝජනයක් ගැන හෙළි වෙයි

ළමාරක්ෂක අධිකාරියේ විමර්ශනයකින් කුරුණෑගල පාසලක සිසුවියන් අපයෝජනයක් ගැන හෙළි වෙයි

by sachintha
February 26, 2024 12:17 am 0 comment

සැකකාර ගුරුවරයා අතුරුදන්

 

කුරුණෑගල මිශ්‍ර පාසලක හය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් අ⁣පයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් පවත්වන ලද විමර්ශනයේදී චුදිත ගුරුවරයා අතින් එම සිසුවියන් පිරිස අපයෝජනයට ලක්ව ඇතැයි පැහැදිලිවම අනාවරණය වී තිබෙන බව විමර්ශන වාර්තාවෙන් පෙන්වා දෙයි.

මේ වන විට සැකකාර ගුරුවරයා ආගිය අතක් නැති බව ද වාර්තා වේ. එම පාසලේ ආදි සිසුන්, මවුපියන් සහ වින්දිත සිසුවියන්ගේ මවුපියන් එක්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතාගෙන් කරන ලද ඉල්ලීමකට ඒ මහතාගේ උපදෙස් අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මඟින් මෙම විමර්ශනය සිදු කර ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එම පාසලේ හය වැනි වසරේ ළාබාල සිසුවියන් සිව්දෙනකු ඔවුන්ට ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරයකු අතින් අවස්ථා කීපයකදී අපයෝජනයට ලක්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බව දන්වමින් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට ද ඒ පිළිබඳ පැමිණිලි කර තිබිණි. ඒ අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරිනී කාංචනා සුබසිංහ සමඟ දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරිනියන් වන චමීරා රාමනායක සහ ලක්මිණි ධර්මදාස තිදෙනා එක්ව එම විමර්ශනය සිදු කළහ.

එම විමර්ශනයේදී අපයෝජනයට ලක්වූ බව කියන සිසුවියන්ගෙන්, ඔවුන්ගේ මවුපියන්ගෙන්, අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මියගෙන් ද ප්‍රකාශ සමඟ සිද්ධියට අදාළ ලිඛිත සාක්ෂි ඔවුන් ලබාගෙන ඇත. චුදිත ගුරුවරයා අවස්ථා කීපයකදීම පාසල් කාල වේලාවේදී සිසුවියන් සිව්දෙනා අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශනයේදී පැහැදිලිවම අනාවරණය වී ඇති බව විමර්ශන වාර්තාවෙන් කියා තිබේ.

මෙම සිදුවීම හේතුවෙන් වෙනත් පාර්ශ්ව කීපයක්ම ⁣සිසුවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද කටයුතු කර තිබීම හේතුවෙන් ළාබාල වයසේ පසුවන එම සිසුවියන් දැඩි මානසික පීඩනයකට සහ බියට පත්ව සිටින බව ද එම වාර්තාව මඟින් පෙන්වා දී ඇත. මෙම විමර්ශන වාර්තාවේ පිටපත් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වෙත භාර දීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධිය මාධ්‍ය මඟින් අනාවරණය කිරීමත් සමඟ චුදිත ගුරුවරයා මේ වන විට සේවය කරමින් සිටින පාසලේ රාජකාරි සඳහා වාර්තා කර නැති බව ද ඔහු සිටින තැනක් හෝ සොයා ගැනීමට නොහැකි වී ඇති බව ද වාර්තා වේ. නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන ඇති බව ද පැවසේ. අදාළ පාසලේ විදුහල්පතිවරයා ද මෙම ගුරුවරයා සම්බන්ධයෙන් වන වාර්තාවක් කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ලබාදී තිබෙන බව ද වාර්තා වේ.

අවිවාහක 56 වැනි වියෙහි පසුවන එම ගුරුවරයාට එරෙහිව මීට පෙර වැල්ලව පාසලකින් ද මෙවැනිම අපයෝජන චෝදනාවක් එල්ලවී තිබෙන බව ද වාර්තා වේ. නමුත් එම චෝදනාව සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ද වාර්තා වේ. ඒ හරහා ඔහු බිය සැකයෙන් තොරව නැවත සිසුවියන් අපයෝජනයට පෙළඹී ඇති බව ද පැවසේ. මේ සමඟම එම විදුහලේ මවුපියන් සහ ආදි සිසුන් ඉල්ලා සිටින්නේ ජාතික ළමාරක්ෂක අධිකාරිය යටතේ ක්‍රියාත්මක විශේෂ පොලිස් විමර්ශන ඒකකය හරහා චුදිත ගුරුවරයාට එරෙහිව නීතිමය පියවරක් ගැනීමට කටයුතු කරන ලෙසය.

කුරුණෑගල අතිරේක

පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT