Sunday, May 11, 2025
Home » වෙඩික්කරු චෙන්කල්අඩි කඳවුරෙන් කොළඹට පැමිණ ඝාතනය සිදු කර නැවත කඳවුරට ගිහින් කඳවුරෙන් පැන්න කෝප්‍රල් කොටු වෙයි
වැල්ලේ සාරංගගේ මස්සිනා ඝාතනය

වෙඩික්කරු චෙන්කල්අඩි කඳවුරෙන් කොළඹට පැමිණ ඝාතනය සිදු කර නැවත කඳවුරට ගිහින් කඳවුරෙන් පැන්න කෝප්‍රල් කොටු වෙයි

by sachintha
February 26, 2024 12:50 am 0 comment

පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවකු වූ වැල්ලේ සාරංගගේ මස්සිනා වන මස්කඩ ව්‍යාපාරිකයකු වන එච්.ඩී. සුනිල් නොහොත් උක්කුවාට පසුගිය 21 වැනිදා රාගමදී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු වන යුද හමුදාවේ කෝප්‍රල්වරයා මෙම ප්‍රහාරය එල්ල කිරීමට චෙන්කල්අඩි කඳවුරේ සිට පෙර දින බස් රථයක නැඟී කොළඹට පැමිණ ප්‍රහාරය එල්ල කර නැවතත් බස් රථයක නැඟී චෙන්කල්අඩි කඳවුරට ගොස් ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මාතර පැත්තේ පදිංචිකරුවකු වන නුවන් චාමර සිල්වා නමැති මෙම කෝප්‍රල්වරයා සේවයේ නිරතව සිටින්නේ චෙන්කල්අඩි කඳවුරේය. ඔහු පසුගිය 20 වැනිදා මෙම ප්‍රහාරයට සූදානමින් කඳවුරෙන් පිටව ගොස් ඇත්තේ අවසර පත්‍රයකින් නිවෙසට යන බව සඳහන් කරමිනි. මගී බස් රථයක නැඟී කොළඹට පැමිණි ඔහුව ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු විසින් 21 වැනිදා අලුයම 2.00ට පමණ වත්තල පිහිටි නිවෙසකට රැගෙන ගොස් ඇති බවත් එදා රැය පහන් කර ඇත්තේ එම නිවෙසේ බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් ද මෙම වෙඩි තැබීම ගැන විමර්ශනය කිරීමේදී හෙළිවී ඇත්තේ රාගම පාරේ ඇලපිටිවල පිහිටි මස් කඩය අසලදී වැල්ලේ සාරංගගේ මස්සිනාට වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සමඟ ත්‍රිරෝද රථයක් ද සහායට පැමිණ ඇති බවය. එම ත්‍රිරෝද රථය හඳුනාගත් විශේෂ කාර්ය බළකාය එහි රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඩුබායි සිට ඔහුට නිපුන නමැති පාතාල අපරාධකරු විසින් ලබාදුන් උපදෙස්වලට අනුව කටයුතු කළ බවය. වෙඩික්කරු මෙන්ම යතුරුපැදිකරු පවා ප්‍රවාහන පහසුකම් සපයා ඇත්තේ එම පුද්ගලයා බවට තොරතුරු හෙළි කරගත් විශේෂ කාර්ය බළකාය ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වීමේදී යතුරුපැදිකරුව සම්බන්ධීකරණය කරමින් මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් අයකු ගැන තොරතුරු හෙළිවී තිබේ.

ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් හක්මන උඩහාවත්ත ප්‍රදේශයේ වැටලීමක් කර සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ සන්නද්ධ බුද්ධි බළකායේ සේවයේ නිරතව සිටියකු බවට තොරතුරු හෙළිවී ඇත. එම පුද්ගලයාව පසුගිය 23 වැනිදා විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ ඔහු මෙම වෙඩි ප්‍රහාරයේ යතුරුපැදිකරුගේ සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇති බවය. ඒ වෙනුවෙන් ඔහුගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂයක මුදලක් ඩුබායි සිට බැරවී ඇති බව ද අනාවරණය වී ඇත.

මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ වෙඩික්කරු ද හක්මන පදිංචිකරුවකු බවය. මෙදින රාත්‍රී 11.00ට පමණ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් එම පුද්ගලයාව කොටු කර ගැනීමට යෑමේදී ඔහු පලාගොස් ඇත්තේ වෙඩික්කරුට දුරකතන ඇමතුමක් දෙමින් පොලිසිය පන්නන බව කියමිනි. එම දුරකතන ඇමතුමට අනුව කළ විමර්ශනයේදී හෙළිවන්නේ වෙඩික්කරු යුද හමුදාවේ දැනට සේවයේ නිරතව සිටින්නකු බවය. එසේම පලාගිය යතුරුපැදිකරු ද යුද හමුදාවේ සිටි සෙබළකු බව ද විශේෂ කාර්ය බළකාය හෙළි කර ගත්තේය.

වෙඩික්කරු ගැන තොරතුරු හෙළි කරගත් විශේෂ කාර්ය බළකාය 24 වැනිදා උදෑසන ඔහුව අත්අඩංගුවට ගැනීමට හමුදාවේ සහායද ලබාගෙන මෙහෙයුමක් දියත් කර තිබේ. පෙර දින කඳවුරේ සිටි කෝප්‍රල්වරයා උදෑසන වැටලීම දියත්වන විට සැකකටයුතු ලෙස කඳවුරෙන් පලාගොස් ඇතත් යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරකින් යුද හමුදා පොලිසිය ඔහුව අල්ලා පොලිස් විශේෂ කාර්ය බළකායට භාර දෙන්නේ අම්පාරේදීය. ඒ අනුව අල්ලාගත් වෙඩික්කරුත් මෙම වෙඩි තැබීමට සහාය දැක්වූ පුද්ගලයන් දෙදෙනාත් විශේෂ කාර්ය බළකාය විසින් ත්‍රිරෝද රථය ද සමඟ භාරදෙනු ලබන්නේ මහබාගේ පොලිස් ස්ථානය වෙතය. එහිදී කළ විමර්ශනයේදී හෙළි වන්නේ වෙඩික්කරුටත් එම ප්‍රහාරය එල්ල කළ දින රුපියල් ලක්ෂයක මුදලක් ලැබී ඇති බවය. ඒ ඔහුගේ බැංකු ගිණුමකටය.

ඩුබායිහි රැඳී සිටින ප්‍රබල අපරාධකරුවකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජීගේ සමීපතමයකු වන ඩුබායිහි සිටින කුමාර නමැති අය විසින් මෙම කෝප්‍රල්වරයාව මෙම ප්‍රහාරයට සම්බන්ධ කර ඇති බවය. ඒ අනුව හෙළි වී ඇත්තේ මෙම ඝාතන සැලසුමට කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයේ සම්බන්ධකමක් ද ඇති බවය. මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පාතාලයේ කල්ලි අතර මේ වන විට ගැටුමක් ඇති වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවත් විමර්ශනයේදී හෙළි වී තිබේ. ඩුබායි නිපුන විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව පෙනී යන බවත් ඔහු වැල්ලේ සාරංගට දුරකතන ඇමතුමක්දී සුදු කොඩි දාන්න සහ පතරොම් ඇහිදින්න ලෑස්ති වී සිටින ලෙසටත් ඊට පෙර දින තර්ජනය කර තිබී ඇති බවත් අනාරවරණය වී තිබේ. වැල්ලේ සාරංග ද සිටින්නේ ඩුබායිවලය.

ඝාතනය වූ මස් ව්‍යාපාරිකයා අපරාධකරුවකු යැයි කියන්නට තරම් සාක්ෂියක් පොලිසියට ලැබී නැති බව විමර්ශන නිලධාරියකු පැවසීය. මෙම ව්‍යාපාරිකයාට ජීවිත තර්ජනයක් මස්සිනාගේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලිවලින් ඇතැයි පොලිසිය අවස්ථා කිහිපයකදීම ඔහුව දැනුවත් කර ද තිබී ඇත. බුද්ධි අංශ වාර්තා පදනම් කරගෙන මේ දිනවල මස් කඩයට නොපැමිණෙන ලෙස පොලිසියෙන් ඔහුව දැනුවත් කර ද තිබී ඇත. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය මස් කඩය තුළ පොලිස් ජංගම නිලධාරින්ගේ සටහන් පොතක් ද තබා තිබී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම මහබාගේ පොලිසියේ නිලධාරීන් විශ්වාස කරනුයේ පලා ගොස් සිටින යතුරුපැදිකරුව ද වැඩි කල් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවය.

‍වෙඩික්කරු සහ යතුරුපැදිකරු පෙරදින රාත්‍රී කාලයේ නවාතැන්ගෙන සිටි වත්තල පිහිටි නිවෙසද මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. වෙඩික්කරුවන් ත්‍රිරෝද රථයේ ගොස් ඉලක්කය හඳුනා ගැනීමෙන් අනතුරුව මඟදී යතුරුපැදියට ගොඩවී මෙම වෙඩි තැබීම කර ඇති බව ද විමර්ශනයේදී හෙළි වී තිබේ. නැවතත් ඒ ආකාරයටම යතුරුපැදිය භාරදී යතුරුපැදිකරුත් වෙඩික්කරුත් විසිර ගොස් ඇත. ගිනි අවියද වෙඩික්කරු අතට ලැබී ඇත්තේ අතරමඟදී බවත් එම අවිය ඒ ආකාරයටම නැවතත් භාරදී ඔහු බස් රථයේ නැඟී ඇත්තේ පැමිණි ආකාරයටම බවත් අනාවරණය වී තිබේ. පසුගිය පෙබරවාරි 16 වැනිදා මෝදර පොලිස් ස්ථානය අසලදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, මෝදරදී පසුගිය 13 වැනිදා ගුඩුෆුඩ් අවන්හලේ කළමනාකරුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම හා වැල්ලේ සාරංගගේ මස්සිනාට වෙඩි තැබීම එකිනෙකට සම්බන්ධ බව විමර්ශනයේදී හෙළිවී ඇත.

මෝදර පොලිස් ස්ථානය අසල තැබූ වෙඩිල්ල ගිනි අවියේ අගුල් වැටීම හේතුවෙන් පත්තු වී නැත. එම වෙඩි තැබීම වැල්ලේ සාරංග විසින් කර ඇති බව පෙනී ගොස් තිබේ. එම වෙඩි තැබීමට ආධාර හා අනුබල දුන් දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් ඉෂාම් නමැති 16 හැවිරිදි අයකු සහ ටී.ඒ.ටී. දිල්රුක් නමැති 21 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනාම මෝදර ෆර්ගිවුෂන් පාරේ පදිංචිකරුවන්ය. මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 451ක් ද සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය. පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන ප්‍රංශ රූබන්ගේ සම්බන්ධකමක් ඇති මෝදර පිහිටි ගුඩ්ෆුඩ් අවන්හලේ කළමනාකරු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කරන්නේ පසුගිය 13 වැනිදාය. මෝටර් රථයකින් පැමිණ එම වෙඩි තැබීම සිදු කර තිබිණි. වෙඩික්කරු පැමිණි මෝටර් රථය ජා-ඇළ ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී පසුදින සොයා ගත්තේය.

මෙම වෙඩි තැබීමට ආධාර හා අනුබල දුන් දෙදෙනකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් පෙරේදා (24) අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් එක් අයකු ජා-ඇළ ඒකල පදිංචිකරුවෙකි. මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇළ සැකකරුය. ඔහු 336 හැවිරිදි වියේ පසුවූ පී.බී. සංජය නමැති අයෙකි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත කොටහේන පරමානන්ද මාවතේ පදිංචිකරුවකු වන දෙවැනි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. කේ.ආර්. මිලින්ද පෙරේදා නමැති 36 වියැති මෙම සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 875ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ,

රක්ෂණ ශ්‍රියන්ත,

රාගම – කුසුම් එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT