තුවාලකරු කොළඹ ජාතික රෝහලට
ජම්පටා වීදියේ ඊයේ (25) දහවල් සිදුවූ වෙඩි තැබීම මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ කුඩු සෙල්විගේ දරුවන් සහ පූකුඩුකන්නාගේ කල්ලිය අතර පවතින මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ඇති බල අරගලයක ප්‍රතිඵලයක බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
මෙම කල්ලි දෙකේ ගැටුමෙන් ගෙවී ගිය මාසයක පමණ කාලය තුළ වෙඩි තැබීම් 08ක් පමණ සිදුව ඇති බවත් එහිදී පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයේ පිහිටි සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස සහිත කිරි ලබාදීම ද ජම්පටා වීදියේදී කුඩු සෙල්විගේ පුතාගේ මිතුරකු වන මාළු ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමද මෙම පාර්ශ්ව දෙක අතර ගැටුමේ ප්‍රතිඵලයකි.
කුඩු සෙල්විගේ දරුවන් තිදෙනාත් පූකුඩුකන්නාත් සිටින්නේ ඉන්දියාවේය. ඔවුන් ඉන්දියාවේ සිට ගෝලබාලයන් මෙහෙයවමින් අපරාධ සහ මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව බුද්ධි අංශ සඳහන් කරයි.
ජම්පටාවීදියේ ඊයේ සිදුවූ වෙඩි තැබීම කුඩු සෙල්විගේ දරුවන් විසින් මෙහෙයවා ඇති බව පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පූකුඩුකන්නාට අයත් බව කියන ගොඩනැඟිල්ලක මස් කඩයක් පවත්වාගෙන යන පුද්ගලයකු ඉලක්ක කර බව පොලිසිය කියයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින මොහොමඩ් රිල්වාන් නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් වෙඩික්කරුවන් පලාගිය මඟ පන්නමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන පැවැත්වේ.
ගයාන් කුමාර වීරසිංහ
බණ්ඩාරගම – බිමල් ජයසිංහ