පොලිස් නිලධාරියකුට අයත් යතුරුපැදියක් ගිනි තබා කැලේ පැන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම සැකකරු කතරගම පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරින් පිරිසකට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ ගෙන තිබේ.
මෙම සිදුවීම වී ඇත්තේ පෙරේදා (24) කතරගම රජ මාවතේ තේක්ක කැලේදීය. බෝර 12 වර්ගයේ ගිනි අවියකින් පොලිස් නිලධාරීන්ට තැබූ එම වෙඩිල්ල පත්තු නොවීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට කිසිදු හානියක් වී නැත.
මේ සම්බන්ධයෙන් සැකපිට එම පුද්ගලයාව ගිනි අවිය සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කතරගම ගම්උදාව පාරේ පදිංචි 38 හැවිරිදි විශ්‍රාමික ආබාධිත සෙබළකු බව පොලිසිය කියයි.
කතරගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ නමැති නිලධාරියා පෙරේදා (24) නිලධාරීන් කණ්ඩායමක් සමඟ වැටලීම් රාජකාරියක නිරතව සිටියදී කඳසුරිඳුගම දෙමටගමුව වැව් ඉස්මත්තේ පිරිසක් හෙරොයින් පැකට් කරන බවට තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ වෙනත් නිලධාරියකු සතු යතුරුපැදියක් රැගෙන එම ස්ථානයට ගොස් යතුරුපැදිය අතරමඟ නවතා ලද තොරතුර පරීක්ෂා කිරීමට වැව් ඉස්මත්තට පාගමනින් ගොස් ඇත. පොලිස් නිලධාරීන් දුටු එක් සැකකරුවන් පලාගොස් ඇත. ඔවුන් පස්සෙන් පන්නා ගියද අල්ලා ගැනීමට නොහැකි වූ තැන යතුරුපැදිය නතර කර තිබූ ස්ථානයට උප පොලිස් පරීක්ෂකවරයා පැමිණෙන විට එය තිබී ඇත්තේ ගිනි ගනිමිනි. එය ගිනි තබා ඇත්තේ ආබාධිත විශ්‍රාමික සෙබළා බව එහිදී හඳුනාගෙන තිබේ.
එම සෙබළා තේක්ක කැලේ සැඟවී සිටින බවට ලද තොරතුරකට අනුව කතරගම පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගිය අවස්ථාවේදී ඔහු වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ