Saturday, May 10, 2025
Home » ජනපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපති රනිල් ඉදිරිපත් වෙනවා – හිටපු ඇමැති රවී කරුණානායක

ජනපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපති රනිල් ඉදිරිපත් වෙනවා – හිටපු ඇමැති රවී කරුණානායක

by sachintha
February 26, 2024 1:00 am 0 comment

එළැඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවැසීය.

හිටපු ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“රට කඩා වැටීමට අදාළව නිලධාරීන්ට ද වගකීමක් තිබෙනවා. රට ඉදිරියට ගෙන යෑමට නම් නිලධාරීන් ද සැලසුම් සහගතව මීට වඩා මැදිහත්වීමක් කළ යුතුයි. මේ මොහොතේ නම් එවැනි තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නෑ.

රට මීට මාස 22කට පෙර තිබූ තත්ත්වය අනුව සලකා බැලීමේදී යම් ස්ථාවරත්වයකට රට පැමිණ තිබෙනවා. නමුත් තව සිදු කළ යුතු දේ බොහෝ තිබෙනවා. එදා රටේ වගකීම ගන්න කෙනෙක් හිටියේ නෑ. බයේ හැංගිලා හිටියේ. කඩා වැටුණු රට යම් කළමනාකරණයකට ලක්කර ගැනීමට ඉදිරිපත් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ඔහු භාර ගත් වගකීම ඉටු කරන්න සමත් වූ බව කවුරුත් පිළි ගත යුතුයි. එදා හැංගිලා හිටපු අය අද ඇවිත් විහිළු කතා කියනවා.

ජනාධිපතිවරයා මේ ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් වුණොත් පත්වෙන අවධානම ජනතාව තේරුම් ගන්න ඕනෙ. මේ වැඩේදී කෙටි මාර්ග නෑ. එක එක අය විවිධ ප්‍රකාශ කරනවා. මාධ්‍ය ජාල විවිධ ලෙස ඒවා වාර්තා කරනවා. නමුත් ජනතාව පීඩාවට පත්නොවන ආකාරයට රට ගොඩගැනීම ගැනයි අවධානය යොමු කරන්න අවශ්‍ය. ඒක සියලු දෙනා එකතුව කළ යුතුයි. විහිළුකාරයන් විවිධ කතා කිව්වත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. එතුමා ජයග්‍රහණය කරවීමට අපි සියලු දෙනා කැප වෙනවා.

ඒ වගේම තමයි ජනතාව දැනගන්න ඕනෙ රටේ පසුගිය සමයේ සිදු වූ කඩා වැටීමට රාජ්‍ය නිලධාරීන් ද වගකිවයුතු බව. මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට මුලික ප්‍රශ්න ඇතිකරන්නෙ මහ බැංකුව කියලා මම කලින්ම කිව්වා. මුල්‍ය ආයතන කඩා වැටිලා තියෙන්නෙ ඔවුන් නිවැරදිව වැඩ නොකළ නිසයි. දැන් බලන්න රජය සියලු දෙනාටම කියනවා මුල්‍ය පාලනයක් කරන්න, වියදම් සීමා කරගන්න කියලා. නමුත් මහ බැංකුව ඔවුන්ගේ වැටුප් වැඩි කර ගන්නවා. එය ඉතාම අසාධාරණයි.

ඩොලරය ස්ථාවර වෙලා තියෙන්නෙ. නමුත් අපි තවමත් විශාල ණය ගෙවීම් සිදු කිරීම ආරම්භ කර නෑ . ඒ නිසා මේ කාලයේදී අපි ඩොලර් ඉතුරු කරගන්න උත්සාහ කළ යුතුයි. අපේ අපනයන ඩොලර් බිලියන 20 පමණ වැඩි කර ගත යුතුයි. වැඩ කරන රජයේ නිලධාරීන් මෙය දැන ගත යුතුයි. හැබැයි දැනගෙන ඔටුවො වගේ ඉඳලා වැඩක් නෑ. ඒ සඳහා වැඩ කරන්න අවශ්‍යයි.”

ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT