Saturday, May 10, 2025
Home » රාජගිරියේ උත්සව භාණ්ඩ කුලියට දෙන තැනක් ගින්නෙන් විනාශයි

රාජගිරියේ උත්සව භාණ්ඩ කුලියට දෙන තැනක් ගින්නෙන් විනාශයි

by sachintha
February 26, 2024 2:06 am 0 comment

රාජගිරිය, ඔබේසේකරපුර නව කොලොන්නාව මාර්ගයේ උත්සව භාණ්ඩ කුලියට ලබා දෙන ස්ථානයක් පෙරේදා (24) දහවල් ගිනිගෙන විනාශ වී ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි.

එම ස්ථානයෙන් ගින්නක් ඇති වෙන බවට බාහිර පුද්ගලයකු 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා වැලිකඩ පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව වැලිකඩ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. ජී. අයි. තුෂාර මහතා ඇතුළු කණ්ඩායමක් වහා එම ස්ථානයට ගොස් ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කෝට්ටේ නගර සභාවට ඒ බව දැනුම් දීමට පියවර ගෙන තිබූ බව පොලිසිය පැවසීය.

ඒ අනුව විනාඩි කිහිපයක් තුළදී කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ හතරක් සහ කොළඹ මහ නගර සභාවේ රථයක් ඇතුළු එම නිලධාරීන්ද පැමිණ පැය තුනක පමණ කාලයක් ගත කර ගින්න මැඩපවත්වා පාලනය කිරීමට කටයුතු කර ඇත. ඇතිවූ ගින්න යාබදව පිහිටි ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සැලක වහලයට ඇවිලී ගොස් තිබූ අතර එයින් සුළු අලාභහානියක් සිදුවී තිබූ බවත් පොලිසිය පැවසීය.

ඉකුත් 23 වැනි සිකුරාදා පෝය දිනයක් බැවින් හිමිකරු ආයතනය වසා දමා කතරගම වන්දනාවේ ගොස් තිබූ බවත් සිදුවූ අලාභය පිළිබඳ පැමිණිලි කිරීමට ඔහු ඊයේ (25) වන විටත් පොලිසිය වෙත පැමිණ නොතිබූ බවත් පොලිස් නිලධාරියකු පැවසීය. ගින්නට හේතුව නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් විදුලි කාන්දුවක් බවට සැක කළ හැකි බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාගේ උපදෙස් මත පාලන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. ජී. අයි. තුෂාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT