Home » තර්ස්ටන්-ඉසිපතන ‘සහෝදරයන්ගේ සංග්‍රාමය’ 50 වැනි වරටත් ජය පැරදුම් නෑ

තර්ස්ටන්-ඉසිපතන ‘සහෝදරයන්ගේ සංග්‍රාමය’ 50 වැනි වරටත් ජය පැරදුම් නෑ

by sachintha
February 26, 2024 1:10 am 0 comment

තර්ස්ටන් පිලේ නායක විහස් තෙව්මික ප්‍රධාන ආරාධිතයා වූ නිල්මින් නානායක්කාර මහතා අතින් තරගයේ වීරයා සම්මානය ලබාගත් අයුරු. තර්ස්ටන් විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ සහ ඉසිපතන විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහත්වරුද මෙහි වෙති.

පාසල් මහා ක්‍රිකට් තරග සමය ආරම්භ කරමින් කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති ‘61 වැනි සහෝදරයන්ගේ සංග්‍රාමය’ වාර්ෂික දෙදින ක්‍රිකට් තරග ඊයේ ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ 50 වැනි අවස්ථාව ලෙස තරගාවලි ඉතිහාසයට එක් විය.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉසිපතන විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 250ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තර්ස්ටන් විදුහල පළමු ඉනිම අත්හිටුවූයේ කඩුලු 8කට ලකුණු 253ක් රැස් කර තිබියදීය.

ඊයේ තරගය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඉසිපතන විදුහල කඩුල්ලක් දැවී ලකුණු 113ක් රැස් කර තිබිණි.

ඉසිපතන දෙවැනි ඉනිමේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රුචිත් රොද්‍රිගෝ පන්දු 97කදී ලකුණු 82ක් රැස් කළ අතර, ඔහු දැවී යෑමත් සමඟ තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළහ.

ඉසිපතන පළමු ඉනිමේදී මෙවර පාසල් මහා ක්‍රිකට් තරග වාරයේ පළමු ශතකය තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට තරුෂ්ක අශෙල් සමත් විය. සෙමින් ඉනිම ගොඩනැඟූ ඔහු පන්දු 247කදී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තර්ස්ටන් නායක විහස් තෙව්මික ලකුණු 74කට කඩුලු 6ක් බිඳ දැමීමට සමත් විය.

ඉසිපතන ඉනිම බිඳ දමමින් නොනැවතුණු විහස් තර්ස්ටන් පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත්වෙමින් ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය. පන්දු 128කට මුහුණ දුන් ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කර ගත්තේය. ඉසිපතන නායක සිතුක ගුණවර්ධන කඩුලු 4ක් බිඳ දැමූ අතර, තරුෂ්ක අශෙල් කඩුලු 2ක් දවා ගත්තේය.

මේ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තුන් ඉරියව් දස්කම් දැක්වූ තර්ස්ටන් නායක විහස් තෙව්මික සම්මාන දිනාගත් අතර, ඔහුට නවීන මෝටර් බයිසිකලයක් පිරිනැමිණි. විහස් තරගයේ හොඳම පන්දු යවන්නා ලෙසත් සම්මාන දිනාගත් අතර, ඉසිපතන විදුහලේ තරුෂ්ක අශෙල් හොඳම පිතිකරු සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසත්, රචින්ත ද සිල්වා (තර්ස්ටන්) හොඳම පන්දු රකින්නා ලෙසත්, රුචිත් රොද්‍රිගෝ (ඉසිපතන) තරගයේ ප්‍රහාරාත්මක පිතිකරු ලෙසත් සම්මාන දිනා ගත්හ.

ඉසිපතන පළමු ඉනිම – 250/9 (ඕවර 88.4) තරුෂ්ක අශෙල් 102, චනුල් දිනොත් නොදැවී 22, රන්මිත් සේනාරත්න 20, කවින් සැමුවෙල් 19 (විහස් තෙව්මික 74/6, තනුග පලිහවඩන 56/2)

තර්ස්ටන් පළමු ඉනිම – 253/8 (ඕවර 83.5) විහස් තෙව්මික 77, හරිත් ෂාලක 42, තනුජ රාජපක්ෂ 37, මුලිත ද කොස්තා 28 (සිතුක ගුණවර්ධන 88/4, තරුෂ්ක අශේල් 43/2)

ඉසිපතන දෙවැනි ඉනිම – 113/1 (ඕවර 31.4) රුචිත් රොද්‍රිගෝ 82, නවිඳු උමෙත් නොදැවී 24

ඡායාරූප – වාසිත පටබැඳිගේ

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT