Saturday, May 10, 2025
Home » මිස්ටර් ශ්‍රී ලංකා ජාතික කායවර්ධන තරගාවලිය අප්‍රේල් මස 5 දා

මිස්ටර් ශ්‍රී ලංකා ජාතික කායවර්ධන තරගාවලිය අප්‍රේල් මස 5 දා

by sachintha
February 26, 2024 1:05 am 0 comment

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ලයනල් කුමාර මහතා වෙත රන්දීර් රුද්‍රිගූ මහතා විසින් අනුග්‍රාහක චෙක්පත පිරිනැමූ අයුරු. සම්මේලනයේ ලේකම් එම්.ඩී. සිල්වා, උප ලේකම් ටී.කේ.කේ.සී. චතුරංග හා විධායක කමිටු නිලධාරීන් පිරිසක් එක්ව සිටි අයුරු.

 

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් සංවිධාන කරනු ලබන 75 වැනි මිස්ටර් ශ්‍රී ලංකා ජාතික කායවර්ධන තරගාවලිය අප්‍රේල් මස 5 වැනිදා වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්වෙයි.

කනිෂ්ඨ හා ප්‍රවිණ යන තරග කාණ්ඩ දෙක යටතේ තරග පැවැත්වීමට කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් කටයුතු සංවිධාන කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ අංශයේ තරග කිලෝග්‍රෑම් 60 සිට කිලොග්‍රෑම් 5 බැගින් වැඩිවී කිලෝග්‍රෑම් 85ට වැඩි කාණ්ඩය දක්වා පැවැත්වේ.

23න් පහළ තරගාවලිය කිලෝග්‍රෑම් 70ට වැඩි හා 70ට අඩු වශයෙන් අංශ දෙකකින් පැවැත්වේ. එමෙන්ම විවෘත ෆිසික් තරගයක් හා කාන්තාවන් වෙනුවෙන්ම ප්‍රදර්ශනාත්මක විලාසිතා කායවර්ධන තරගයක්ද පැවැත්වේ. මේ සියලු තරගවලට පූර්ණ සූදානමක් ලෙස බර කිරීම අප්‍රේල් 4 වැනිදා වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2024 වසරේ ‘මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ’ සමඟ ජයග්‍රහකයා වෙනුවෙන් මුදලින් රුපියල් ලක්ෂ 2ක් පිරිනැමෙන අතර, අනුශූරයා වෙනුවෙන් මුදලින් ලක්ෂ 1.5ක්ද, තෙවැනි ස්ථානය වෙනුවෙන් මුදලින් රුපියල් ලක්ෂයක් හා කුසලාන සහතික පත් පිරිනැමේ. එක් එක් බර පන්තියට අදාළව පදක්කම්, සහතික පත් සහ මුදල් තෑගි ප්‍රදානය කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන ඇත.

ජාතික මට්ටමින් සංවිධාන කෙරෙන මේ තරගාවලියට අනුබද්ධ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයන් 300ක් පමණ සහභාගි වන අතර, රන්දීර් රුද්‍රිගූ පදනම පූර්ණ අනුග්‍රහය දක්වයි. එම පදනමේ සභාපති රන්දීර් රුද්‍රිගූ මහතාගේ ආරාධනාවක් අනුව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන අතර, ‘සහරා ෆ්ලෑෂ්’ සංගීත ප්‍රසංගය ද සංවිධානය කොට තිබේ.

තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ මධ්‍ය හමුවක් පසුගියදා කොළඹ ඔටර්ස් ක්‍රීඩා සමාජයේදී පැවති අතර, එහිදී ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ලයනල් කුමාර මහතා පැවසුවේ විවිධ බාධක මැද ජාතික මට්ටමේ තරග පැවැත්වීමට සම්මේලනය කටයුතු කොට ඇති බවයි.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT