ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති අවසන් විස්සයි20 තරගයේ අවසන් පන්දු ඕවරයේදී ඇතිවූ ‘නෝබෝල්’ සිද්ධියට අදාළව එම අවස්ථාවේ ‘ලෙග් අම්පයර්’ ලෙස කටයුතු කළ ලින්ඩල් හැනිබල් මහතාගේ ශ්‍රේණිගත කිරීම (rating) පහළ දැමීමත්, තරගයෙන් තරගයට විනිශ්චය උදෙසා ලැබෙන ලකුණු (point) අයිසීසීය විසින් අඩු කරනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙකු ‘දිනමිණ’ට පැවසීය.
සෑම තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු එම තරගයේ විනිශ්චයට අදාළ වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන අතර, එම වාර්තාවේ පිටපතක් තරග තීරකවරයා වෙත භාරදීමද අනිවාර්යයෙන් සිදුවේ. එම තරගයේදී ඇතිවූ ‘නෝබෝල්’ සිද්ධිය හා දුර්වල තරග විනිශ්චය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු මහින්ද හලංගොඩ මහතාගේ වාර්තාවේ සඳහන් වන බැවින්, අයිසීසී තරග තීරක එංගලන්ත ජාතික ක්‍රිස් බ්‍රෝඩ් මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත එම සිද්ධිය වාර්තා කළ යුතුව ඇත. එවිට එම වාර්තාව සැලකිල්ලට ගෙන විනිසුරුවන්ට ලබා දෙන ඉදිරි තරග අඩු කිරීමට අයිසීසීය පියවර ගනී.
‘නිපන්දුව’ ලබා නොදීමෙන් වරදක් කළ විනිසුරුවන්ට දඬුවමක් ලබාදීමට අයිසීසීය පියවර නොගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළද එහි සත්‍යතාවක් නැති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රින්ස් ගුණසේකර