Wednesday, March 26, 2025
Home » ලංගම සහ එහි සේවකයින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නවා

ලංගම සහ එහි සේවකයින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නවා

by chanaka
February 27, 2024 4:55 pm 0 comment

පොදුජන අවශ්‍යතාවයක් ඉටු කරන ලංගම සේවකයින්ට පහර දීමට ඉඩ දිය නොහැකි බවත්, ලංගම හා ලංගම සේවකයින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරියේ දී ගනු ලබන බවත් ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ලංගම සහ පුද්ගලික බස්රථ ගැටුම සම්බන්ධව අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙන් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

මෙරට සාමාන්‍ය පොදු ජනතාවගේත්, දරුවන්ගේත් බොහෝ මඟී ප්‍රවාහන අවශ්‍යතා ඉටු කිරීමට ඉදිරිපත් වන්නේ ලංගමය බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා, ලාභ පරමාර්ථයෙන් පුද්ගලික අංශය ලාභ ලබන මාවත් වල පමණක් තරඟයට ධාවනයට කිරීමෙන් දීර්ඝ කාලයක් සිට ඇති වන ආරවුල් විසඳා ගත යුතු වන අතර ම කිසිඳු හේතුවක් නිසා හෝ ලංගම සේවකයින්ට පෙරලා ප්‍රචණ්ඩත්වය භාවිතා නොකරන ලෙසට හා පහර දීම සිදු නොකරන ලෙසට දැනුම් දී තිබෙන බවත්, කුමන පුද්ගලයකු හෝ පහර දුනහොත් පොලීසියට ගොස් පැමිණිලි කරන ලෙසට දැනුම් දී තිබෙන බවත් මෙහි දී සඳහන් කළේය.

තමන් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කවුරුන් ප්‍රචණ්ඩත්වය භාවිතා කළ ද අධිකරණයට ගොස් යුක්තිය ඉටු කර දෙන ලෙසට සහ පොල්ස්පතිට සහ පොලිස් නිලධාරීන්ට නීතිය අකුරටම ඉටු කරන ලෙසට ඉල්ලා තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

ප්‍රවාහන අමාත්‍යංශය හා පළාත් මඟී ප්‍රවාහන අධිකාරිය එක්ව රාජ්‍ය ප්‍රවාහන සේවයට හිතාමතා සිදු කරන පහර දීම් සම්බන්ධව සහ එකී පහර දුන් පුද්ගලික බස්රථ හිමියන්ගේ බස්රථ බලපත්‍රය අවලංගු කිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වය පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කෙරෙන බවත්, මාර්ග බලපත්‍ර උල්ලංඝණය කරමින් ධාවනය කෙරෙන බස්රථ වලට අදාළ නීතිමය නියෝග ලබා ගෙනත් නැවත එලෙසම දිගින් දිගටම වැරදි සිදු කිරීම වාර්තා වීම සම්බන්ධව ද ඉදිරියේ දී නීතිමය තත්ත්වය නිරාකරණය කර ගැනීමට බලාපොරොත්තු වන බව හෙතෙම මෙහි දී සඳහන් කළේය.

එමෙන්ම, ලංගම සේවකයා රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT