කරාපිටිය රෝහලේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී මාංචු සමඟ බන්ධනාගාර බස් රථයෙන් පැන ගිය පුද්ගලයකු තහනම් පිහියක්, හෙරොයින් හා සොර බඩු සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු බලපිටිය පොලිස් ස්ථානයට භාර දීමෙන් පසු සැකකරු විසින් ඔහුගේ හිස පොලිස් ස්ථානයේදී වීදුරු දොරක ගසා ගැනීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලේ ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ පොලිස් වසමේ පන්සල පාර, වලගෙදර, බලපිටිය ප්‍රදේශයේ දී වැටලීම් සිදුකර ඇති අතර එහිදී අවුරුදු 29ක බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 2,096ක්, තහනම් පිහියක් හා සොර බඩු යැයි සැකකරන ආභරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී මොහු බන්ධනාගාර බස් රියෙන් පැන ගිය පෙරකී වරදකරු බව අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීපව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී. සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය රත්ගම පොලිස් ස්ථානයේ ස්ථාපිත කර ඇති උප කඳවුරේ උප පොලිස් පරීක්ෂක එස්.එම්. මුණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.