හයිඩ්පාර්ක් කෝනර්හි පිහිටි ආර්පිකෝ ප්‍රදර්ශනාගාරය අසල දරුවන් තිදෙනෙක් සමඟ සිඟමන් යදිමින් සිටි වයස්ගත කාන්තාව පැයකට රුපියල් විසි දහසකට අධික මුදලක් උපයා ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (26) වාර්තා කළේය. කොම්පඤ්ඤවීදිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී අත්අඩංගුවට ගත් එම සිඟමන් යදින කාන්තාව මීට පෙර දිනයක දී ඇප මත මුදා හැරුණු කාන්තාව සහ දරුවන් දෙදෙනා අධිකරණයේ ඊයේ පෙනී සිටියේය.
අවුරුදු දෙකක් පමණ අනුමාන වයසැති බාල වයස්කාර දරුවා මොරටුව ප්‍රේමා ළමා නිවාසයට භාර දෙන ලෙස ඉකුත් නඩු දින නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පාසල් යන වයසේ පසුවන දරුවන් දෙදෙනාට අදාළව පාසල් සහ ග්‍රාම සේවා වාර්තාව කැඳවූ අතර ඊට අදාළව ඊයේ ඉදිරිපත් කර තිබූ වාර්තා පරිශීලනය කිරීමෙන් අනතුරුව කාන්තාව භාරයේ සිටි ඉතිරි දරුවන් දෙදෙනා ද පරිවාස භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ඊයේ (26) නියෝග කළේය. ඒ අනුව පාසල් යන වයසේ පසුවන දරුවන් දෙදෙනා මීරිගම මහාබෝධි ළමා සුරැකුම් මධ්‍යස්ථාන භාරයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරිනියට සහ කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කළේය.
අනන්‍යතාව තහවුරු කළ හැකි වයස 9 සහ 8 පසුවන දරුවන් දෙදෙනා මෙලෙස ළමා නිවාසයට යොමු කළ අතර බාල වයස්කාර දරුවාගේ අනුමාන වයස් සහතිකයක් අධිකරණයට ගොනු කරන ලෙසත් දරුවාට අවශ්‍ය එන්නත් සහ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. දරුවන් සිඟමනට යෙදවීම යන චෝදනා යටතේ සැකකාර කාන්තාවට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි. පොලිස් කණ්ඩායම පැයක කාලයක් තුළ සිදු කළ නිරීක්ෂණවලට අනුව එම දරුවන් එම වෙළෙඳ සංකීර්ණයට පැමිණෙන මෝටර් රථ වෙත ගොස් මුදල් ඉල්ලන බව නිරීක්ෂණය කළ බවත් එලෙස එකතු කරන ලද මුදල් රුපියල් 20,700ක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය. සැකකාර කාන්තාව දරුවන් කාගේ කවුරුන්ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු සපයන්නේ නැති බවත් වරින් වර තොරතුරු වෙනස් කරන බවත් ඥාති පුතකුගේ දරුවන් ඇය විසින් බලා ගන්නා බව පවසා ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. රන්දිය උයන නිවාස සංකීර්ණයේ සිට දරුවන් තිදෙනා සමඟ ඇය සිඟමන් යැදීමට දෛනිකව මෙම ස්ථානයට පැමිණෙන අතර ඇයට මින් පෙර අවුරුදු 4ක දරුවකු සිඟමනේ යෙදවූ බවට නඩුවක් පවතින්නේ යැයිද පොලිසිය වැඩිදුර කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.