හම්බන්තොට වනඅලි රක්ෂිත කලාපයේ අනවසර වගා හා විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් රක්ෂිතයෙන් බැහැරව වනඅලින් ගම්වැදීම සිදු වන බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරි ඒ.එල්. රුවන් කුමාර මහතා පැවසීය.
වනඅලි රක්ෂිත කලාපයක් ගැසට් කර ඉඩම් වෙන් කිරීම සිදු කර ඇතත් එම ඉඩම් කොටස්වල අනවසර වගාකරුවන් මහා පරිමාණයෙන් විවිධ වගාවන් සිදු කර පෞද්ගලික විදුලි වැට නිර්මාණය කර තිබීම හේතුවෙන් රක්ෂිත කැලයට යොමු කරන වනඅලින් එම රක්ෂිතයෙන් යළිත් ආසන්න ගම්වලට කඩාවැදීම සිදු කරන හෙයින් එය පාලනය කිරීම අසිරු වී ඇති බවද හෙතෙම පැවසීය.
එම රක්ෂිත කලාපයේ විවිධ ඉදිකිරීම් හා නොයෙක් මිනිස් ක්‍රියාකාරකම් සිදු කිරීම හේතුවෙන් වෙන්කර ඇති වනඅලි රක්ෂිත කලාපය වනඅලින්ට හැර අන් සියලුම දේ සිදු වන හෙයින් වනඅලින් ආහාර හා ජලය සොයා ගම් වැදීම සිදු කරන හෙයින් ජනතාව පීඩාවට පත් වන බව රුවන් කුමාර මහතා හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දි පැවසීය.
සෑම දිනකම පාහේ හම්බන්තොට හා ඒ අවට කිසියම් ගම්මානයකට වනඅලින් කඩා වැදීම සිදු කරන හෙයින් වනජීවී නිලධාරීන්ට දැනුම් දීම් අනුව ඒ සෑම ස්ථානයකටම යන බවත් එක් පැත්තකට ගොස් වනඅලින් පලවා හැරීම සිදු කරන විට තවත් ප්‍රදේශයකින් දැනුම්වත් කරන හෙයින් කාලය හා නිලධාරීන් ප්‍රමාණවත් නොවීම මත ගැටලු ඇතිවන බවද වනජීවී නිලධාරීහු සඳහන් කරති.
ආරක්ෂිත විදුලි වැට කඩා බිඳ දැමීම හා ඒවා නිසිලෙස නඩත්තු නොකිරීමත් වනඅලින් ගම්වැදීමට හේතුවන බවද පැවසීයය.
හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිත කලාපය ගැසට් කර ඇතත් එහි නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලතල වනජීවී දෙපාර්තමේන්තුවට තවමත් පැවරීමක් සිදු නොකිරීම මත එම කලාපයේ සිදු කරන ක්‍රියාකාරකම්වලට කටයුතු කිරීමේ දී ගැටලු මතුවන බවද වනජීවී නිලධාරීහු පවසති. හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිත කලාපය ඉඩම් ප්‍රමාණය දැන් ක්‍රමයෙන් අඩුවන හෙයින් එය රැක ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර මහතා පැවසීය.