හෙල්මට් නැතිව ගිය පුද්ගලයකු ගෙන් රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (26) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් භාරයට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉත්තෑපාන පොලිස් ස්ථානයේ රථවාහන අංශ කොස්තාපල් වරුන් දෙදෙනෙකි.
අත්අඩංගුවට පත්ව ඇති නිලධාරීන් දෙදෙනා, හෙල්මට් එකක් නොමැතිව යතුරු පැදියකින් යමින් සිටී පුද්ගලයකු ගේ රියදුරු බලපත්රයක් භාරයට ගෙන ඇත. එම වරද සමතයකට පත්කර රියදුරු බලපත්රය නැවත ලබාදීමට එක් කොස්තාපල් වරයෙකු රුපියල් දස දහසක මුදලක් අල්ලසක් වශයෙන් ඊයේ පස්වරුවේ පොලිස් ස්ථානය තුළදී ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.
සිද්ධියට සම්බන්ධ අනෙක් කොස්තාපල් වරයා භාරයට ගෙන තිබූ රියදුරු බලපත්රය සිය නිල ඇඳුමේ සාක්කුවක දමාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.