වයස අවුරුදු 15යි මාස පහක බාල වයස්කාර දැරියක අපහරණය කර මිනිස් ජාවාරමක කටයුතු කර ස්ත්රී දුෂණයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවක මාර්තු 11දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්රධාන මහේස්ත්රාත් රඛිත අබේසිංහ මහතා ඊයේ (26) නියෝග කළේය.
මෙලෙස නියෝග ලැබුවේ සඳුන්ගම තිස්සමහරාම පදිංචි නයෝමි මුණසිංහ අවු (40) නැමැති මීගමුව කුඩා පාඩුවේ ස්පා ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවකි. මෙම සිද්ධියට පාත්ර වී ඇත්තේ වස්කඩුව කළුතර පදිංචි දැරියකි. ඇය හිතවතියන් දෙදෙනකු සමඟ සහෝදරත්වයෙන් සිටි බව පැවසේ.
ඇය පසුගිය විසිඑක්වෙනිදා තම මවට නොකියා මුහුදු වෙරළට ගොස් ඇත. මේ නිසා මව දැරියට බැණ වැදීම හේතුවෙන් නිවසට යාමට නොහැකි බව හිතවතියන්ට පවසා තිබේ. ඇගේ එක් යෙහෙළියක වැඩ කරන්නේ මීගමුවේ ස්පා ආයතනයක බව මෙම දැරියට පවසා තිබේ. දැරිය මෙම ආයතනයේ සේවය කරන හිතවතිය සමඟ දුම්රියෙන් මීගමුවේ එම ආයතනයට පැමිණි බව තිබේ. මෙහිදී කාන්තාවක පැමිණ මෙම දැරිය කාමරයකට රැගෙන ගිය බවත් එහිදී ඇයට නාගන්න කියා එම කාන්තාව ප්රකාශ කළ බවත් සඳහන් වේ.
පසුව ඇයට රාත්රියේ දී මහත පුද්ගලයෙකු හා තවත් අයෙකු පැමිණ අතවර කළ බව කියයි. දෙවන පුද්ගලයා ඇය ළඟට පැමිණි විට ඇය ඇඬීමට පටන් ගත් බව ද අධිකරණයට කරුණු දැක්වීමේ දී වාර්තා විය. මව මෙම සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත. දැනට මෙම දැරිය කළුතර රෝහලේ ප්රතිකාර ලබන බව අධිකරණයට වාර්තා විය. මීගමුව මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ මහතාගේ උපදෙස් මත මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එන්. එස්. හසිම් කා. පො. කො. 11659 සජානි යන නිලධාරිනියන් විසින් පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.