Saturday, May 10, 2025
Home » සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය ප්‍රමිතිය ඉහළ නැංවීමට CPD වැඩසටහන ඇරඹෙයි

සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය ප්‍රමිතිය ඉහළ නැංවීමට CPD වැඩසටහන ඇරඹෙයි

by yasara
February 28, 2024 11:12 am 0 comment

මෙරට සෞඛ්‍ය සේවාව සදහා  (National Continuous Professional Development Programme – CPD) ජාතික අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සදහා වූ  වැඩසටහන එළිදැක්වීම අද (28) දින  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ සිදු කෙරිණි.

මෙරට සෞඛ්‍ය සේවාවේ 150,000 අධික සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් සේවය කරනු ලබන අතර විවිධ වෘත්තීය කාණ්ඩ ප්‍රමාණය 268 ක් වේ. මෙම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටමකට ගෙන ඒම මෙන්ම ඉහළ ප්‍රමිතිගතකරණයකට ලක් කිරීම මෙම පුහුණු වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වේ. මෙමගින් රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය තව තවත්  ඉහල නැංවීම අපේක්ෂා කරයි.

 

විධිමත්, කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මක කරමින් රෝගී ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණ කරගනිමින් අද දින එළිදැක්විම දී සිදු කෙරුනු මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිම සහ සංවිධාන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මියගේ මූලිකත්වයෙන් අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය විසින් සිදු කරනු ලබයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ  ලියාපදිංචි වී පුහුණුව ලබා ගත් වෛද්‍යවරුන් ,හෙද නිලධාරිනියන් ,ඇතුලු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සෞඛ්‍ය වෘත්තිකයින් 64 දෙනෙකු සදහා ජාතික අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සදහා වූ සහතික පිරිනැමීම ද සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ විසින් මෙහිදී සිදු වුනු අතර සෑම වර්ෂයකටම වරක් මෙම සහතිකය පිරිනැමීමට  සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ………

අද දින එළිදැක්වීම සිදු වුනු මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර ගණනාවක  උත්සහයක ප්‍රතිඵලයක් ලෙස පෙන්වා  දිය හැකි බවත්, මෙයින් සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තිකයින්ගේ වෘත්තීය ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටමකට පත්වනවා සේම වෘත්තිකයාද ඉහළ ප්‍රමිතිගතකරණයකට ලක්වන බවය.

පුහුණු වැඩසටහන් මගින්  වෘත්තිකයන්ගේ වෘත්තීය ප්‍රමිතිය ඉහල නැංවීම,  කාර්යක්ෂම විම සිදුවන බවත් එයින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරටට හිමිවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  එහි අවසන් ප්‍රතිඵලය වන්නේ මෙරට රෝගී ජනතාවට විශිෂ්ඨ රෝගී සත්කාරයක් හිමිවීම බවද පැවසීය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම අධ්‍යාපන  ක්ෂේත්‍රයේද විශාල සංවර්ධනයක් සිදුව තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  එය සංවර්ධිත රටක පවතින සේවාවන් හා  සමාන බවද කීහ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන  විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන්, විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්, අධ්‍යක්ෂ සමන්ත රණසිංහ, වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක,  මහාචාර්ය ඉන්දික කරුණාතිලක, යන මහත්ම මහත්මීන් මෙන්ම රෝහල් අධක්ෂවරුන් , පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ,  වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT