Home » වම්බටු එළබටු කැකිරි පිපිඤ්ඤා පංචායුධ අම්බලමේ – දේශපාලන කටගැස්ම

වම්බටු එළබටු කැකිරි පිපිඤ්ඤා පංචායුධ අම්බලමේ – දේශපාලන කටගැස්ම

by sachintha
February 28, 2024 1:19 am 0 comment

 

අද පෙබරවාරි 28 හරි නම් මාසේ අන්තිම දවස. හැබැයි, මේ මාසය ඉවර වෙන්නේ විසි අටෙන් නෙවෙයි විසි නවයෙන්.

මෙහෙම පෙබරවාරි මාසෙට දවස් 29ක් තියෙනකොට ඒකට කියන්නේ අධික අවුරුද්දක් කියලා. විස්සයි විසි හතරත් අධික අවුරුද්දක්.

මේ අධික අවුරුද්දේ අධික ලෙස මිල ඉහළ ගිය භාණ්ඩ අතර නොම්මර එක තමයි, කැරට්. කැරට් විසි හතරෙ රත්තරන් මිල ඉහළ යන්නේ ලෝක වෙළෙඳපොළේ බලපෑමට වුණාට ශ්‍රී ලංකාවේ කැරට්වල මිල ඉහළ ගියේ අයහපත් කාලගුණය නිසා කියලයි කියන්නේ.

හාවන්ට කැරට් පෙන්වනවා වගේ වේදිකාවේ ඇස් නටවන, කට උල් කරන, කන් දික් කරන අනුර අයියත් කාලයක් ශ්‍රී ලංකාවේ කැරට් පිළිබඳ වගකීම දැරුව වග නම් අපට මතකයි.

සීයට තුනේ කුක්කු පැටවුන්ට අමතක වුණාට චන්ද්‍රිකා නෝනගේ ආණ්ඩුවේ කැරට්, කැකිරි, පිපිඤ්ඤා, එළබටු වම්බටු, තිබ්බටු, තක්කාලි, අමුමිරිස්වලට විතරක් නෙමෙයි බත් හට්ටිය තම්බන හාල්වලටත් වග කියන කෘෂිකර්ම ඇමැති පුටුවේ කැරකි කැරකී හිටියේ අනුරයියා.

හැබැයි කෘෂිකර්ම ඇමැති කාලේ කරපු කෙරුවාවල් එක්ක ශ්‍රී ලංකාවේ හිටපු හොඳම වගා ඇමැතියා අනුරයියා තමයි කියලා සමහර ගෝලබාලයෝ කියන්නේ යුක්තිය නිසා හිඟ වුණු තණමල්විල විජය පත්‍රයක් ගිනි අවුළ ගත්ත වෙලාවල්වලට.

කොහොම වුණත් වැව් දෙදහසක් හදනවයි කියල මඩ වළවල් හාරලා ගොන් පාට් රැඟූ බව නම් තෛලෝක විජය පත්‍ර නොබොන අපිට නම්, හොඳට මතකයි. ඇත්තටම වැව් දෙදහසක් හැදුවනම් පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුව ළඟින්ම අනුරයියාගේ පිළිරුවක් හදන්න තිබුණා. ඊයේ පෙරේදා ඉන්දියාවට ගිහිල්ලා කාපු බීපු හැටි දැක්කම මිල්කෝ එක විකුණන කල් ශබ්ද වහලා හිටියොත්, සමහරවිට නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ අනුරයියාගේ පිළිරුවක් අම්බානිලා, අදානිලා, අමූල්ලා එකතුවෙලා ඉන්දියාවෙන්ම හදාගෙන ඇවිල්ලා හිටවන්නත් බැරිකමක් නැහැ.

කොහොම වුණත් නන්නත්තාර වෙලා ඉන්න හිටින්න තැනක් නැතිවුණු වෙලාවට නවතින තැනක් තියෙනවා. ඒකට කියන්නේ අම්බලම කියලා. මෙහෙම අම්බලං ඉස්සර නං හරියට මඟතොට තිබිලා තියෙනවා.

මෙහෙම අම්බලමක් කෝට්ටේ පිටකෝට්ටේ පාරේත් තිබිලා තියෙනවා. ඒකට කියන්නේ මැටි අම්බලම කියලා. මෙන්න මේ මැටි අම්බලම පේන මානයේ අලුත් අම්බලමක් ගොඩනැගිලා. ඒකත් නිකන් දෛවයේ සරදමක් වගේ. මේ අම්බලම සජිත් මහත්තයයි, ජලනි නෝනයි දෙන්න එකතු වෙලා තමන්ගේ ‘ස’ යන්නයි, ‘ජ’ යන්නයි එකතු කරලා හදපු බලවේගය නොහොත් සජබ. එහෙම නැත්තං ටෙලිෆෝනය. මෙන්න මේක තමයි, අලුත්ම අම්බලම. ජනතාවට කුකුළු කූඩු වගේ ගෙවල් හදපු ප්‍රේමදාස පරම්පරාවේ අලුත්ම ප්‍රොජෙක්ටර් එක තමයි දේශපාලනයේ නන්නත්තාර වුණු බඩගෙඩි ලොකු පොරවල්වලට නවාතැන් සැපයීම.

ප්‍රොෆෙසර් ගාමිණී ලක්ෂ්මන් පීරිස්ගේ ඉඳලා හෝමාගම ගාමිණී තිලකසිරි දක්වා මේ අම්බලමේ නවාතැන් හොයන අනාථයෝ දැක්කම දුක හිතෙනවා. බඩගෙඩි දිහා බලලා ඔළු ගෙඩිවලින් තමන්ගේ පෙරහර දික්කර ගත්තට මේ එකගෙයි කෑම ඉවර වෙන්නේ අනාථ සෙට් එක අම්බලම අයිති කරගත්ත දවසට. සැඟවුණු කතාවේ හැංගි මුත්තන් සෙල්ලං කරපු උත්තර සන්ධාන බිත්තර වගේ කුණු වෙලා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා වගේ.

සොල්හයිම්, පරිබාහරන් විජාතික බලවේගවල පෙන්නලා ජාතියේ පංචායුධය වෙච්ච හාදයා අද අලුත් බිල්ලෙක් මවන්න පටන් අරන්. මෙදා පාර පන්ති පහේදී ඉගෙනගත්ත ඉන්දියානු ව්‍යාප්තවාදය හොඳටම ප්‍රැක්ටිස් කරන්න පටන් අරන් වගෙයි. ජාතියේ පංචායුධය මේඩ් ඉන් චයිනා කියලා පේන්නේ දැන් තමයි. ඩොලර්, යෙන්, රූබල්, යූරෝ, ඉන්දියන් රුපියල් වගේම චීන යුවාන් කියන්නෙත් සල්ලිම තමයි. පොහොට්ටුවෙන් පෙත්තතක් දෙකක් ගලවගෙන හදන පුංචි පුංචි සන්ධානවල කතාබතා දිහා බැලුවම රාජපක්ෂ විරෝධයයි, සීයට තුනට බැණ අඬගැසීමයි ඇරෙන්න වෙනත් ගතයුත්තක් තියෙනවා ද කියලා හිතෙන්නේ මන්තරේ වගේ එකම ගීතය විවිධ හඬින් ගයනවා දැක්කමයි.

ඒ අල්ලපනල්ලේ උස හාදයත් අලුත් පොතක් ලියාගෙන ඒක සියලුම නායකයන්ට අත ගස්සන්න අරන් යනකොට හිතෙන දේවල් පත්තරේකට ලියන එක හොඳ මදියි කියලා හිතෙනවා. මෙහෙම දේශපාලනයම නන්නත්තාර වෙලා වගේ පේනකොට මැදමුලන මහින්දගේ ලොකු පුතත් තාත්තා වගේම පන්සල් වන්දනාව පටන් අරගෙන. බාප්පත් ලබන සතියේ ලංකාවට එනවයි කියලයි ආරංචිය. අන්තෝ ජටා – බහි ජටා ඇතුළත් ගිනි පිටත් ගිනි ඇවිළෙද්දි කුස්සියේ ළිප ගිනි මොළවගන්න බැරි ජනතාවක් ඉන්න රටේ මහ බැංකුවෙ ලොක්කෝ ලොකුම හැන්දෙන් තමන්ගේ බඩ කට පුරවගත්ත එක දිහා දකිනකොට දෙසිය විසි පහම කොච්චර අහිංසක ද කියලත් හිතෙනවා. නිදහස් සෞඛ්‍යය නිසාම නොමිලේ පෙකණිවැල කපාගෙන මෙලොවට බිහිවෙලා නිදහස් අධ්‍යාපනයෙන් දැනඋගත් ලොකු මහත්වරු වුණු බොහෝ උදවිය රට අත ඇරලා යන විදිය දැක්කම මහ බැංකුවේ උදවිය අතේ තියෙන හැන්දෙන් උස්මුරුත්තේ හැදෙන්නම බෙදාගැනිල්ල ගැනත් පුදුම වෙන්න දෙයක් නැහැ.

රටම නන්නත්තාර වෙලා පිස්සු කෙළින වෙලාවේ මේ අවුරුද්දෙ තියන්න නියමිත ජනාධිපතිවරණෙත් කල්යනවයි කියලා කනින් කොනෙන් ඇහෙන්න පටන් අරන් තියෙනවා. රට ගොඩනඟන්න හරිහමන් වැඩපිළිවෙළක් කිසි කෙනෙක්ගේ අතේ නැති වෙලාවේ මොන ජන්ද ද කියලා ජනතාව අතරත් කසු කුසුවක් පටන් අරගෙන. ඒ කොහොම වුණත් එක්දහස් නවසිය තිස් එකේ ඉඳලා භුක්ති විඳින සර්ව ජන ඡන්ද බලය තමයි අපේ අහිංසාවාදී අවිය.

ඒත් ඉතිං පියාණන් වහන්සේගේ අඩිපාරේ යන පුතාණන් හරි පොටි සිටිය හදන්න සීගිරි ගල කඩන්න වෙන්නැයි කෙබර කෙළපු කයියනායක හරි, රටේ විධායකයේ දාගත්තොත් මේ රටට අයියනායක දෙවියන්ගෙම පිහිටයි !

මෙහෙම සුගීගේ සටහන ලිව්වේ හඬන්නට, වැලපෙන්නට මෙන්ම ළාමකව සිනාසෙන්නට ද නොව හොඳට හිතන්නටය.

ඔබ සැමට චිරං ජයතු !

මම

සුගත් හේවාපතිරණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT