Sunday, May 11, 2025
Home » පාකිස්තාන හවුල් රජයට IMF නව කොන්දේසි

පාකිස්තාන හවුල් රජයට IMF නව කොන්දේසි

by sachintha
February 28, 2024 1:03 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මීළඟ ණය වාරිකය ලබා ගැනීම සඳහා මහමැතිවරණයේ අක්‍රමිකතා සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරගත කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව පැහැදිලි කිරීමට පාකිස්තානයට සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම ණය වාරිකය නිදහස් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නව කොන්දේසි පැනවීමට ඉඩකඩ ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එරට හවුල් රජයේ නව අගමැති ලෙස නවාස් ෂරීෆ්ගේ බාල සොයුරු හිටපු අගමැති ශෙබාස් ෂරිෆ් නම් කර ඇති අතර, මේ මස අගභාගයේ පැවැත්වෙන එරට පාර්ලිමේන්තුවේ නව සැසියේදී ඔහු එම තනතුරෙහි දිවුරුම් දීමට නියමිත බව ද වාර්තා වේ. එසේ වුවත් පාකිස්තානයේ ආර්ථික නැවත ගොඩ නැඟීම සඳහා ඔහු ගන්නා ක්‍රියාමාර්ග අභියෝගයකට ලක් වී ඇතැයි ද, ශෙබාස්ගේ වැඩිමල් සොයුරු නවාස් ෂරිෆ්, එරට හමුදාපති ජෙනරාල් අසිම් මුනීර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිය කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇතැයි ද වාර්තා වේ.

රටේ ආර්ථිකය යළි නඟාසිටුවීමට දේශපාලන එකමුතුභාවයක් අවශ්‍ය වී ඇතැයි අගමැති අපේක්ෂක ශෙබාස් පෙරේදා ප්‍රකාශ කළ බව පාකිස්තාන එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය. දේශපාලන හා ආර්ථික වශයෙන් පාකිස්තානය ස්ථාවර කිරීමෙන් රටේ අනාගතය සාර්ථක කරගත හැකි වනු ඇතැයි ශෙබාස් ෂරිෆ් සඳහන් කර තිබේ. රටේ දරිද්‍රතාව හා විරැකියාව පිටුදැකීම සඳහා නව රජය ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT